වාර්ෂිකව බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වියදම රු. බි. 4.7ක්

62

වයස අවුරුදු 16-22 අතර වයස්වල සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන තරුණයන්ට විදේශ රැකියා සඳහා පුහුණුව ලබාදීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මෙම අදහස් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඉදිරි සැළසුම් පිළිබදව දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය

එහිදී තවදුරටත් අදහස් පළ කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මෙසේද පැවසීය.

පස් අවුරුදු සැළැස්මක් අනුව ප්‍රධාන යෝජනා නවයක් යටතේ මෙරට බන්ධනාගාර පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කරමින් ඇති බවත්, බන්ධනාගාර තුළ සිට සිදු කරමින් පැවති වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම, ජංගම දුරකථන භාවිතය වැනි කටයුතු පාලනය කරමින් සමස්ත බන්ධනාගාර පද්ධතියම ප්‍රතිසංවිධානයට ලක්කර ඇති බව කොමසාරිස්වරයා පැවසීය.

පෞද්ගලික අංශයේ සහාය ලබා ගනිමින් වෘත්තිමය කුසලතාවලින් පරිපූර්ණව බන්ධනාගාර රැඳවියන්ගේ තත්වය උසස් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ තුළින් රැඳවියන්ගේ දක්ෂතාවයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා ආදායම් මාර්ග උපයා ගැනීමේ හැකියාව පවතින බවත්, සුළු වැරදි සදහා බන්ධනාගාරගතව සිටින රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිවාස අඩස්සියේ රඳවා තැබීමේ ක්‍රමවේදයක් යෝජනා කර ඇති අතර, ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව ද කොමසාරිස්වරයා සදහන් කළේය.

බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට ඔවුන් බැලීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හැකි වන පරිදි ඊ විසිට් සංකල්පය හඳුන්වා දී ඇති බවත්, බන්ධනාගාර වෙබ් අඩවියට යොමු වී ලියාපදිංචිවීම තුළින් රැඳවියන් බැලීමට වේලාවක් දින දෙකක් තුළ වෙන්කර ගැනීමේ පහසුකම පවතින බවත්, බන්ධනාගාරගත රැඳවියන්ගේ බන්ධනාගාරගත කාලය දීර්ඝ කිරීමේදී දින ලබාගැනීමට අධිකරණය වෙත ඉදිරිපත් කිරීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හා යහපත් කල් ක්‍රියාවෙන් යුතුව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සම්බන්ධව කටයුතු කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව අනුව ඔවුන් නිදහස් කිරීමට හා දඬුවම් කාලය අඩු කිරීමට කටයුතු කරන බවත් කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 16-22 අතර වයස්වල සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන තරුණයන් විදේශ රැකියා සඳහා පුහුණු කරවමින් ඒ සඳහා යොමු කිරීමට පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සමග කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේදී එවැනි තරුණයන් 50 දෙනෙකු පමණ ඒ සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, බන්ධනාගාර රැඳවියන්ගේ වෘත්තිමය භාවය උසස් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මෙරට පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින බවත්, හෙතෙම පැවසීය.

බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් බන්ධනාගාර රැඳවියන් නඩත්තු කිරීම වෙනුවට රැඳවියන්ගේ ශ්‍රමය වැය කරමින් උපයන ලද මුදල් වියදම් කරමින් බන්ධනාගාර පද්ධතිය පවත්වා ගෙන යෑමේ වැඩ පිළිවෙළකට යොමු වෙමින් පවතින අතර, වාර්ෂිකව බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර සඳහා වියදම ලෙස රුපියල් බිලියන 4.7 ක් හා බන්ධනාගාර පද්ධතිය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 11 ක් වැය බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකෝන් මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment