කිලෝ 1550ක් බර වාහනයක් කොණ්ඩයෙන් ඇද යාපනයේ සෙල්ලයියා ලෝක වාර්තාවක් පිහිටුවයි

51

යාපනයේ තෙන්මරච්චි මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි පුද්ගලයෙකු සිය කොණ්ඩයේ ආධාරයෙන් කිලෝ ග්‍රෑම් 1550 ක් බර වාහනයක් විනාඩි 17 ක කාලයකින් කිලෝ මීටර් 1.2 ක දුරක් ඇදගෙන ගොස් ලෝක වාර්තාවක් 15 දා පිහිටුවා තිබේ.

සෙල්ලයියා තිරුචෙල්වම් නමැති මොහු කාලාන්තරයක්ම යාපනයේ කෝවිල් වල උත්සව පැවැත්වෙන විට මහජන ප්‍රදර්ශනයක් වශයෙන් සිය රැවුලෙන් වාහන ඇද තිබේ.

ඔහු මෙවර වාර්තාවක් තැබීම සඳහා ඔහුගේ කොණ්ඩයෙන් එම වාහනය ඇද තිබේ. ඔහු සිය කොණ්ඩයෙන් වාහනයක් ඇද ලෝක වාර්තාවක් පිහිටුවන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අතර යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේදීම නියෝජිතයින් විශාල පිරිසක් ඉදිරියේ එම වික්‍රමය සිදු කොට ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

මෙම ලෝක වාර්තාව පිහිටුවීම සඳහා යාපනයේ ආයතන රැසක් හා රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙකු හා පළාතේ ක්‍රීඩා සමාජ ඔහුට සහය දී ඇති අතර විශේෂ නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී මෙම වික්‍රමය සිදු කිරීමෙන් පසුව ඔහුට ඒ ලෝක වාර්තාව පිහිටුවීම සම්බන්ධයෙන් වූ සහතිකය පිරිනමා තිබේ.

මෙම ක්‍රියාව නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෝ විශාල මුදල් ප්‍රමාණයක් ඔහුට තෑගි කොට ඇති අතර යාපනයේ සංවිධාන ගණනාවකින්ද මුදල් හා ත්‍යාග පිරිනමා ඇත. මේ කාර්යය සඳහා ඔහුගේ දියණිය ඔහුට සහය ලබා දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment