පැවිදිවරයේ ස්වර්ණ ජයන්ති සැමරුම

1070

ලොව පුරා අධ්‍යාපන සේවාව හා ධර්මදූත සේවාවන් සඳහා කැපවී සේවය කරන “ද ලාසාල්” පැවිදි නිකායේ සහෝදරතුමකු ලෙස දිවයිනේ ප්‍රධාන පාසල් කීපයක සේවාව ඉටු කළ, එලෙස ක්‍රීඩා පුහුණුකරුවකු මෙන්ම විනිසුරුවකු ලෙසත් ආර්ථික අහේනියෙන් ජීවිත කඩා වැටුණු මිනිසුන්ගේ අභිවෘද්ධිය සඳහාත්, කතෝලික බැතිමතුන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතාවන් වෙනුවෙන් අති විශිෂ්ට සේවාවක් ඉටු කළ හා දැනට ද යම් ප්‍රමාණයකින් දෙවියන් වෙනුවෙන් සේවය ඉටුකරන ද ලාසාල් පැවිදි නිකායේ නිමල් ගුරුසිංහ සහෝදරතුමන්ගේ පැවිදිවරයේ ස්වර්ණ ජයන්ති සැමරුම (වසර 50 ක) පසුගිය අගෝස්තු 15 වැනිදාට යෙදී තිබුණි.

ලෝරන්ස් ගුරුසිංහ හා තෙරේසා ගුරුසිංහ යුවළට දාව 1951 ජුලි 06 වැනිදා කොටිකාවත්තේදී මෙලොව එළිය දුටු නිමල් ගුරුසිංහ සහෝදරතුමාගේ පවුලේ සහෝදර, සහෝදරියෝ නව දෙනෙකි. ඒ අතුරින් මාලනී ගුරුසිංහ හා රංජනී ගුරුසිංහ යන දෙටු සොහොයුරියන් දෙදෙනා ද පිළිවෙළින් අපෝස්තලික කාර්මේල් හා ප්‍රැන්සිස්කන් පැවිදි නිකායන්හි පැවිදි සොහොයුරියන්ය.

පැවිදි සහෝදරයකු වීමට තමන්ට කුඩා කල සිටම තිබූ දැඩි පිපාසය නිසාවෙන් කොටහේන ශාන්ත බෙනදික් විදුහලේ සිප්සතර හදාරමින් සිටියදී 1967 ජනවාරි 16 වැනිදා කොළඹ 15, මුතුවැල්ල ශාන්ත ජෝසප් කනිටු තාපසාරාමයට ඇතුළු විය. 1972 වර්ෂයේදී ඉන්දියාවේ ටියුටිකොරින්, මංගලගිරිහි තාපසාරාමයේ වැඩිදුර අධ්‍යාපනය ලද අතර 1973 අගෝස්තු 15 වැනිදා “ද ලාසාල්” නිකායේ පැවිදි සහෝදරතුමකු ලෙස පැවිදිවරයේ ඇඳුම් ඇඳීම පළමුවැනි දේව පොරොන්දු ලබාදීම එහිදී සිදුවිය. 1973 දී යළි ශ්‍රී ලංකාවට පැමිණි ගුරුසිංහ සහෝදරතුමා 1973-1975 දක්වා ශිල්ප බෙදීමේ කාර්යයට අනුව විශේෂ පුහුණුවක් හා අත්දැකීම් ලබා ගත්තේය.

ගුරු වෘත්තියට අනුබද්ධ වෙමින් 1975 වර්ෂයේදී කොටහේන ශාන්ත බෙනදික් විදුහලට පත්වීමක් ලැබූ අතර, ගුරුතුමකු ලෙස ද ප්‍රධාන හොකී ආචාර්යවරයා ලෙස ද කටයුතු කළ අතර, හොකී විනිසුරුවකු ලෙස සුදුසුකම් ලබා ගත්තේය. එලෙස හොකී ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස ද කටයුතු කළේය.

පසුව 1978 – 1979 වකවානුවේ හෝමාගම හා මීරිගම රජයේ ගුරු පුහුණු විද්‍යාලවලින් විශේෂයෙන් වාණිජ විෂය පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබීය.

1980 – 1988 දක්වා මොරටුව ශාන්ත සෙබස්තියම් විද්‍යාලයට පත්වීම් ලැබූ නිමල් ගුරුසිංහ සහෝදරතුමා ප්‍රාථමික අංශයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, විෂය භාර ප්‍රධානාචාර්ය හා ක්‍රිකට් පුහුණුකරු ලෙස ද, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් සුදුසුකම් ලත් ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසද පත් විය. පැසිපන්දු, ටෙනිස් ක්‍රීඩාවන් මෙන්ම බාලදක්ෂයන් භාරව විෂය භාර ප්‍රධානාචාර්ය ලෙස ද සේවය කළ අතර ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් වූ රොමේෂ් කළුවිතාරණ, හා සජීව චානක සිල්වා මොරටුව ශාන්ත සෙබස්තියම් විදුහලේ අධ්‍යාපනය ලබද්දී ක්‍රිකට් පුහුණුකරු ලෙස ඔවුන් ඉදිරියට ගෙනයෑම ගුරුසිංහ සහෝදරතුමා දායක විය.

1981 අගෝස්තු 15 දින සිය පැවිදිවරයේ අවසන් පොරොන්දු ලබාදීම රාගම දියගල ළමා නගරයේදී සිදුවූ අතර, 1988 දී කඳාන දී මැසිනොද් විදුහලට පත්වීම් ලද පැමිණි ගුරුසිංහ සහෝදරතුමා, නියෝජ්‍ය විදුහල්පති, උසස් පෙළ අංශය භාර ප්‍රධානී, ක්‍රීඩා භාර සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ අතර, 1992 දී යළිත් තමන් ශිල්ප හැදෑරු ශාන්ත බෙනදික් විදුහලට පත්වීම් ලද එතුමා 2007 දක්වා විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකාරක, පරිපාලන ප්‍රධානී, ක්‍රිකට් පුහුණුකරු හා අපරදිග තුර්ය වාදන කණ්ඩායම් ප්‍රධානචාර්ය ලෙස කටයුතු කළේය.

2007 වර්ෂයේදී කොළඹ 15, මුතුවැල්ලේ පිහිටි ද ලාසාල් සහෝදරතුමන්ලාගේ මව් නිවස්නය ලෙස සැලකෙන ප්‍රාදේශියාධිපති නිවස්නය වෙත පැමිණි අතර, වසර 14 ක කාලයක් ද ලාසාල් සහෝදරතුමන්ලාගෙ පර්ෂදයේ මුදල් භාරකරු ලෙස සේවය කළේය. මේ වනවිට ශුද්ධ වූ පවුලේ ප්‍රජාවේ ශ්‍රේෂ්ඨයා හා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

විශාල පූජක හා පැවිදි පරපුරකට නෑකම් කියන නිමල් ගුරුසිංහ සහෝදරතුමාගේ මවගේ සහෝදරයා සී. එම්. රූපසිංහ (නි.ම.නි) ගරු පියනම (ස්වගර්ථ) ජ්‍යෙෂ්ඨතම පියනමක විය.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ හා කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ අධ්‍යක්ෂවරයකු වූ මර්වින් වීරක්කොඩි දිව්‍ය සත්ප්‍රසාද නිකායේ සුනිල් රූපසිංහ හා ස්වර්ගස්ථ එලිල් පෙරේරා (නි.ම.නි.) ගරු පියවරුන් ගුරුසිංහ සහෝදරතුමන්ගේ ඥාති පූජකයන්ය. ස්වර්ගස්ථ හිටපු අගරදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමියන්ගේ සොහොයුරියක විවාහ වී සිටින්නේ ගුරුසිංහ සහෝදරතුමන්ගේ මවගේ සොහොයුරකු සමගිනි.

කොළඹ 15, ලුණුපොකුණ ශාන්ත අන්දරේ දෙව්මැඳුරේ සැදැහැවතුන්ගේ අධ්‍යාත්මික කටයුතු සඳහා ද පළාතේ දරිද්‍රතාවයෙන් යුත් ජනතාවගේ ජීවන අභිවෘද්ධිය සඳහා ක්‍රියාකාරකම් රැසකට මේ වනවිට දායක වන නිමල් ගුරුසිංහ සහෝදරතුමා පුවත්පත් කීපයකටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ විචාරාත්මක ලිපි සපයයි.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment