කහවත්තේ කහවතුකන්දේ මහා හඩක් සමග පොළව හෙලවිලා – ගම්වාසීහු බියෙන් තැතිගනිති

687

කහවත්ත නගරයට නුදුරු කහවතුකන්ද ප‍්‍රදේශයේ මහා හඬක් සමග ප‍්‍රදේශයේ පොළව සුළු වේලාවක් සෙලවීමක් ඇතිවීම නිසා ගම්වාසීහු බියට පත්ව සිටිති.

පෙරේදා (10 දා) රාත‍්‍රි හතයි තිහට පමණ මෙම ශබ්දය ඇසුණු බව ගම්වාසින් කහවත්ත පොලිසියට සහ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී තිබේ. පැල්මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් ඒ. එම්. රුවන්සිරි මහතා සඳහන් කළේ ගම්වාසින් ගෙන් ලද තොරතුරු අනුව මේ ගැන සොයා බලන බවත් භූවිද්‍යා හා ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ට දැනුම් දී ඇති බවත් එම නිලධාරීන් ඊයේ (11 දා) ප‍්‍රදේශයට පැමිණිමට නියමිතව තිබූ බවත් ඔහු කීය.

කහවත්ත නගරයට මීටර් පන්සියයක් ආසන්නයේ පිහිටි කහවත්ත ඕපනායක පැරණි දුම්රිය මාර්ගය ආසන්නයේ නිවෙස්වල සිටි පිරිස් පවසන්නේ මහා හඩින් ඇතිවු ශබ්දයක් සමග පොළොව සෙලවී යන ආකාරය දැණුනු බවයි. සමහර නිවෙස්වල දොර ජනෙල්ද සෙලවී ගිය බව ගම්වාසීහු පවසති. කිලෝමීටර දෙකක් දුරට මෙම හඬ ඇසි තිබේ. විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක් පිපිරී යන තරමේ මහා හඬක් ඇසුණු බව ගම්වැසියකු වන කේ. නිශාන්ත මහතා පැවසීය.

පසුගිය 2004 වසරේදී කහවත්ත කන්ද නායයෑමේ අවදානමක් ඇති වීමෙන් පවුල් කිහිපයක්ද ප‍්‍රදේශයෙන් ඉවත් කර තිබේ. එහිදී කහවතුකන්ද මුදුනේ ස්ථාන දෙකක පැලූම් ඉරි මතුවී තිබූ අතර කන්ද පාමුල නිවාස කිපයක් ඉරිතැලීම් ඇති වූ බව ගම්වාසීහු පවසති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කපිල දහනායක මහතා ද ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කර ඇතැයි ගම්වාසීහු පවසති. පෙරේදා ඇතිවු ශබ්දය සහ පොළොව සෙලවීම ගැන බියක් ඇතිවි තිබෙන නිසා මේ ගැන ඉක්මනින් පරීක්ෂණයක් සිදු කරන මෙන් ගම්වාසීහු ඉල්ලිමක් කරති.

කහවත්ත – සමරවීර නිරෝෂණ
 

advertistmentadvertistment
advertistmentadvertistment