මහබැංකුව ස්වාධීන කළොත් මුළු රටම ඉවරයි

344

අයිඑම්එෆ් ණය ගන්න අපේ සහාය නෑ – විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල
ලැබුණ ණය කොන්ක්‍රීට් දැමීමට නොයදා ව්‍යවසායකත්වය දියුණු කිරීමට යෙදිය යුතුයි – ඇමැති රමේෂ් පතිරණ
ලැබුණු ණයෙන් රට ගොඩනගනවා වෙනුවට කැබිනට් එක ගොඩනැගීමට සැලසුම් කරලා – හර්ෂණ රාජකරුණා (සජබ)

ඉදිරියේ දී ලැබෙන ණය මුදල් ව්‍යවසායකත්ව දියුණුවට යොදා ගතහොත් සියලු අර්බුද නිමාකර රට දියුණුවට ගෙනයා හැකි බව වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. නිවේදන, ලිපිලේඛන, පෙත්සම්, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු විසින් පිළිතුරු සැපයීම සහ 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විසඳීම සහ ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය.

අනතුරුව මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමි වූ ණය පහසුකම් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයේ දෙවැනි දිනයට ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –

මේ අයිඑම්එෆ් ණය ගන්න අපෙන් සහය ඉල්ලුවා නමුත් අපි ඒ සහාය ලබා දෙන්නේ කොහොමද අපිට ඒ ගැන කිසිම තොරතුරක් දුන්නේත් නෑ. සාකච්ඡාවක් දුන්නෙත් නෑ. ඒ ගිවිසුම ගැන කිව්වෙත් නෑ. අපිට සහාය දෙන ජනතාව කියන්නේ මේ ගිවිසුම නිසා ඒ අයගේ ජීවන බර වැඩි වෙනවා කියලා. ඒ වගේම හැම ක්ෂේක්‍රයක්ම පීඩනයකට ලක් වෙලා. ඒ නිසා අපට සහය දෙන්න අමාරුයි මේකට. කනගාටුවෙන් වුවත් කියන්න ඕනා ඒක. මේ ආණ්ඩුව ණය වෙනුවෙන් අයිඑම්එෆ් කොන්දේසි සපුරන්න යන්නේ ජනතා වරමක් ඇතුවද කියලා අපි දැනගන්න ඕනා. එහෙම ජනවරමක් මේ ආණ්ඩුවට නෑ. ජනාධිපති පත් වුනේ ජන වරමකින් නොවෙයි. අයිඑම්එෆ් එකම කියනවා ඒ අයගේ ගනුදෙනුව තිබෙන්නේ ජනතාවක් එක්ක මිස ආණ්ඩු එක්ක නොවෙයි කියලා. 69 ලක්ෂයේ ජනවරම ගන්න වෙලාවේ කිව්වේ රාජ්‍ය ආයතන ආරක්ෂා කරනවා කියලානේ. දැන් ලාභ ලබන ආයතන සියල්ල මේ ආණ්ඩුව විකුණන්න යන්නේ. ඔබ තමුන්නාන්සේලා බිම් බෝම්බයකට අත ගහන්න යන්නේ. ජන වරමක් නැතිව මේවා කරන්න බෑ. අයිඑම්එෆ් එක කියන්නේ ශ්‍රී ලාංකීය ජනතාවත් එක්ක තමයි ඒ අයගේ බැඳීම තිබෙන්නේ කියලා. මේ ආණ්ඩුවෙත් කණ්ඩායම් දෙකක් තිබෙනවානේ. සමහරු කියනවා දැන් බැසිල් රාජපක්ෂ තමයි අයිඑම්එෆ් යන්න කිව්වේ කියලා. ඒත් මම 2021 දෙසැම්බර් 10 දා ප්‍රශ්නයක් අහනවා මේ පාර අයිඑම්එෆ් යන්නේ නැද්ද බැසිල් ඇමැතිතුමා කියලා. ඔහු උත්තර දෙනවා නෑ කියලා. මේ ආණ්ඩුවේ අයනේ රට බංකොලොත් කළේ. දැන් මහ බැංකුව ස්වාධීන කරන්න කියලා අයිඑම්එෆ් එක කියනවා. හොඳයි ඒක නරියට කුකුල්ලු භාර දුන්නා වගේ තිබෙයි. මුළු රටම ඉවර කරයි.

(වීරසුමන වීරසිංහ මහතා මූලාසනයට පැමිණේ)

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පවා පාර්ලිමේන්තුවට බැඳී ඉන්නවා. ඒ නිසා විනිසුරුවරුන් මහ බැංකුවට නම් එහෙම ස්වාධීන වෙන්න අවසර දෙන එකක් නෑ. අනෙක මොන මහ බැංකුවද සංචිතවලින් ණය ගෙව්වේ. අපේ අය ගෙව්වා. කිසිම රටක එහෙම කරන්නේ නෑ. මේ අය කළා. මේ ආණ්ඩුව තමයි රට බංකොළොත් කළේ. බංකොළොත් කරපු ආණ්ඩුවකට රට ගොඩනගන්න බෑ. දැන් රටේ ජනතාව පිපාසයෙන් ඉන්නේ මැතිවරණයක් පවත්වනකම්. මේ ආණ්ඩුව වැටුනේ 2019 පළමු අයවැයෙන්. එහිදී ආණ්ඩුව වසරකට බිලියන 600ක් නැති කර ගත්තා. සමහරු කියනවා ඒක 800ක් කියලා. අපේ ආණ්ඩුව කාලේ ඕනතරම් සල්ලි තිබුණා. මේ අය ඒවා නැති කර ගත්තා. ඒ නිසායි දැන් රටේ ජනතාවට බදු ගහන්න වෙලා තියෙන්නේ. අපි කියන්නේ ජන මතය විමසන්න ඕනේ.

කොලඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා (ශ්‍රී.පො.පෙ.) :

රට දැවැන්ත ආර්ථික ප්‍රපාතයකට වැටිලා සිටින වෙලාවක එයින් ගොඩ එන්නේ කෙහොමද කියලායි අපි කතා කරන්නේ. විපක්ෂය කියනවා එයාලා තමයි අයිඑම්එෆ් යන්න කිව්වේ. හැබැයි දැන් කියනවා මේක බිම්බෝම්බයක් වගෙයිලු. කොන්දේසි දාලලු. මමත් කැමති නෑ කොන්දේසිවලට. නමුත් අපිට අවහ්‍ය අපේ ගම්වල ජනතාව තුන් වේල කාලා ඉන්න තත්තවයකට පත් කරන්නයි අපි කැමති. අපිත් කැමැතියි ණය ගන්නේ නැතුව ස්ධීනව සිටින්න. නමුත් දැන් ඇතිවී තිබෙන තත්ත්වය මත තමයි අයිඑම්එෆ් සහනය ගන්න වුනේ. රට වැටිච්චි තැනින් ගොඩ ගන්නයි ජනාධිපති කටයුතු කළේ. අපි ඒ සඳහා සහයෝගය දුන්නා. ඒ යම් යම් කොන්දේසිවලට මමත් කැමති නෑ.

රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතා (ශ්‍රීලපොපෙ) :

ගෑස්, විදුලිය ඇතුළු අවශ්‍ය සේවාවන් පෞද්ගලික අංශය මගින් කරවා ගැනීමටයි රජය හදන්නේ. ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක මේ තත්ත්වය පවතිනවා.

රාජ්‍ය සම්පත් ජනතාවගෙන් ලේ උරා බොන ආයතන බවට පත්විය යුතු නෑ. ඒවා නිදහස් ආයතන වී රජයට විශාල ලෙස බදු ගෙවන තත්වයට පත්විය යුතුයි. නමුත් ආයතනවල නියාමනය පමණක් රජය සතු විය යුතුයි.

වත්මන් අර්බුදය තුළ මංකොල්ලකාරී ක්‍රමය නැතිකර ව්‍යවසායකත්වය ශක්තිය බවට රාජ්‍ය ආයතන පත්විය යුතුයි. රුපියල් බිලියන ගණනක් පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් ජනතාවගේ බදු මුදලින් යැපිය යුතු නෑ.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ) මහතා :

බංකොළොත්භාවයෙන් මිදුණු රටක් ලෙස දැනෙනවා. එක අතකින් එය සතුටක්. සතුට තාවකාලිකයි. මැරීමට නියමිත තැනැත්තෙකුට අලුගෝසුවා විරාමයක් දෙනවා වගේ. ඒ විරාමය තුළ සතුටු වෙනවා වගේ තමයි හැඟෙන්නේ.

ආණ්ඩුව හා නිලධාරීන් නිවැරදි දේ වෙනුවෙන් මිස ජනප්‍රිය දේ වෙනුවෙන් වැඩ කිරීමෙන් වැළකිය යුතුයි. ආජන්ටිනාව ඇතුළු රටවල් රැසක් වැටුණා.

සමහර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අපි එකඟ නෑ. බදු ගෙවීම් ප්‍රශ්නය දරුණුයි. බදු නොගෙවන විශාල පිරිසක් ඉන්නවා. වැඩිහිටි ජනගහනයෙන් බදු ගෙවන ගාන සියයට 3ක් පමණ හිටියේ. සමහර ලක්‍ෂ 5 වැටුප් ගන්න අයත් බදු ගෙවන්න බැහැ කියනවා. එහෙම බැහැ.

එදා පොහොට්ටුවේ අය මූල්‍ය අරමුදලට යන්නෙම නෑ. සමගි ජනබලවේගය පමණයි මූල්‍ය අරමුදලට යා යුතුයි කිව්වේ. අද ඔක්කොම අපේ මතයට ඇවිත් තියෙනවා.

ජනතාව අර්බුදය වෙනුවෙන් කැපවුණත් ආණ්ඩුව කළ කැපවීමක් නෑ. දූෂණ, වංචා, නාස්තිය ගැන තවම ඇඟිලි දික්වෙනවා. කැබිනට් එක වැඩිවෙනවා.

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා (ශ්‍රීලපොපෙ) :

මේ වෙලාව අත්හදා බලන්න අවස්ථාවක් නොවෙයි. අත්දැකීම් ක්‍රියාත්මක කරන වෙලාවක්. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ ජනපති කරන්න පක්‍ෂය තීන්දු කළේ. එය සාර්ථක බව අද රටටම පේනවා.

මූල්‍ය අරමුදලේ කිසිම සහයක් නොලැබෙන බවට විපක්‍ෂය දිගටම කිව්වා. දැන් මුදල් ලැබුණාම සොච්චම් මුදලක් ලැබුණේ කියනවා.

මූල්‍ය අරමුදලේ තීන්දුව සමග අපේ ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. ඩොලර් බිලියන 7ක් දක්වා. හොරු… හොරු කියනවා පමණයි කිසිම චෝදනාවක් ඔප්පු කර නෑ. ජනතාව අන්දවන විපක්‍ෂයේ ක්‍රියාමාර්ග අසාර්ථක බව අද ජනතාවට දැනී තිබෙනවා. සියයට 96ක් තිබූ උද්ධමනය දැන් වේගයෙන් අඩුවෙනවා. මේ අවුරුද්දට වඩා ලබන අවුරුද්ද ඉතා හොඳට ජනතාව සැමරිය හැකි වෙනවා.

පුහුණු ශ්‍රමිකයන් හැකිතරම් විදේශ රැකියාවලට යොමු කළ යුතුයි. ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. ඩොලර් හංගාගෙන සිටි අය අද අමාරුවේ වැටිලා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවට සහය දීමට ගත් තීරණය නිවැරදි බව අද පේනවා. අරාජික වෙන්න ගිය රටක් රැකගැනීමට ශක්තිය දීමට මට හැකි වුණා.

වරාය හා නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා :

පළමුව රට දෙවනුව පක්‍ෂය හා දේශපාලනය යන්න හදවතේ රඳවාගත යුතුයි. අපි හැමෝම එලෙස ක්‍රියා කළ යුතුයි. මූල්‍ය අරමුදල් කොන්දේසි ගැන ස්වයංව සිතා අපේ වගකීම් ඉටුකළ යුතුයි. මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන ස්වයංව සිතා අපේ වගකීම් ඉටුකළ යුතුයි. මිනිස්සු හාමතෙන් මැරුණත් කමක් නැහැ කියලා දේශපාලනය කරලා වැඩක් නෑ. එහෙම කරන අයත් සිටිනවා.

නියම වෙලාවට අයිඑම්එෆ් ගියානම් පෝලිම් ඇති වන්නේ නෑ. එහෙම නොකළ නිසයි රටේ අරගල ඇති වී හිටපු ජනපතිටත් යන්න වුණේ. මම විපක්‍ෂ නායක කාර්යාලයට ගිහින් පැය 3ක් කතා කරලා අගමැතිකම ගන්න කිව්වා. ගත්තානම් අද ජනපති. අවාසනාව එයයි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා රටේ වාසනාවට ජනාධිපති වුණා. ජනප්‍රිය නොවන තීන්දු ගත්තා. අපි ඒවාට සහය දුන්නා. එතුමා ගත් ගමන් මග හරි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා :

දූෂණ වංචා අඩු කරන්න නීති ගේන්න ආණ්ඩුව මූල්‍ය අරමුදලට පොරොන්දු වී තිබෙනවා.

ආණ්ඩුවේ අරමුදල් කිසිම වැඩක් නැති ව්‍යාපෘතිවලට යොදවා අනිසි මුදල් ලබා ගැනීමක් සිදුවූ බවට ප්‍රචලිත වී තියෙනවා. ඒ නිසයි මේ වගේ කොන්දේසි ඇවිත් තියෙන්නේ.

මහ බැංකුව අද ආණ්ඩුවේ හොරණෑවක්. එහි මණ්ඩලවල ආණ්ඩුවට හිතවත් අය පත්වෙනසවා. අවශ්‍ය වෙලාවට සල්ලි අච්චු ගැහුවා.

2019 ආණ්ඩුව මුලින්ම බදු අඩුකරගෙන රුපියල් බිලියන 600ක් අහිමි කරගත්තා. අපිට තිබෙන මතය කොහේ හිටියත් කිව්වා. අපිට දුෂ්කර මාර්ගයක් තෝරා ගන්න සිදුවී තිබෙනවා. ඊට උදම් අනන්න එපා. අපි හැමෝම එක්ව තීරණ ගත යුතුයි. මේ වැඩපිළිවෙළට පුද්ගලිකව මගේ සහය දෙනවා. රට වෙනුවෙන් හරි දේ කළ යුතුයි.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා (ශ්‍රීලපොපෙ) :

රට තියෙන්නේ ලොකු අර්බුදයක. ජනතාව විශාල පීඩනයකට ලක්වෙලා. ගොවියා, රාජ්‍ය සේවකයා ඇතුළු හැමෝම පීඩනයට ලක්වෙලා. මේ අර්බුදය පෙන්වා විවිධ අයට චෝදනා විවේචන එල්ල කර ගන්නවා. ඒවා දැකලා ජනතාවගේ බඩ පිරෙන්නේ නෑ.

මේ රටේ ඇතිවී තිබෙන විනාශයට දේශපාලකයන්ට වඩා බහුතරයක් නිලධාරීන් වගකිව යුතුයි. දේශපාලකයන් පරිපාලන පුටුවල නෑ. විශ්වවිiාලවල කාල් මාක්ස්, ලෙනින් වගේ උද්ඝෝෂණකළ අයයි ඔවුන්.

ඇමැති රමේෂ් පතිරණ මහතා :

විවිධ ප්‍රශ්නවලට අපට මුහුණපාන්න සිදුවුණා. ඒවා මැඩගෙන නැවත නැගී සිටීත්‍ම් හැකියාවක් පවතින බවත් අපි වටහාගෙන තියෙනවා. විදේශ ප්‍රේෂණ ලැබීම් පසුගිය කාලයේ අඩුවුණා. සංචාරක ව්‍යාපාරය අඩුවුණා.

අපිව මේ වතාවෙත් මූල්‍ය අරමුදලේ සහනය ලැබුණා. 75 වසරක ශාපය ගැන කතා කරනවා. සෞඛ්‍ය, අධ්‍යාපන, ජලය, විදුලිය ආදිය දියුණු වුණත් 1948 න් පසුව මේවා නැංවූයේ ණය අරගෙන. අද විදුලිය සම්පූර්ණයි. ජනන හැකියාවන් වැඩිකරගත්තා. ලැබෙන ණය කොන්ක්‍රීට් දාන්න එපා කියලා කිව්වලු. ණය ආයෝජනය කළ යුත්තේ ව්‍යවසාය දියුණු කරන්න. එවිටයි ප්‍රතිඵල ඇතිවන්නේ.

දකුණු කොරියාව, තායිවානය, ජපානය ඇතුළු රටවල් වැඩිපුරම නිෂ්පාදනය වැඩි කරන්න මුදල් වෙන් කළා. නමුත් අපේ වගේ රටවල් සෞඛ්‍ය, අධ්‍යාපන නැංවීමටයි මුදල් යොදවන්නේ. අපි පසුගිය කාලයේ කර්මාන්ත දියුණුවට යෙදවූයේ ඉතා අඩු මුදලක්. අපේ අපනයන ආදායම ක්‍රමයෙන් වැඩිවුණා. ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් අපට ඉතිරිකරගන්න පුළුවන්. කර්මාන්ත ශාලා රැසක් බිහිවෙනවා.

අද විශාල වශයෙන් ටයිල් නිෂ්පාදනය කරනවා. පිටරටින් කලින් ගෙනාවේ. විදුලි උපකරණ අපනයනය කරලා ඩොලර් උපයනවා. නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කළ හැකියි. ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අවශ්‍යයි. නිෂ්පාදන හැකියාව දියුණු කළොත් අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්. අසාර්ථක ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය ආයතනයක් අවශ්‍යයි. ලැබෙන ඉදිරි ණය ව්‍යවසායකත්වය දියුණු කිරීමට යෙදිය යුතුයි. එය අත්‍යවශ්‍ය කාරණයක්. ජනතාවට සහන දෙන්න ඉදිරියේදී හැකිවේවි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ) :

අයිඑම්එෆ් ණය ලැබුණු නිසා රට ගොඩනගනවා වෙනුවට ආණ්ඩුව හා කැබිනට් එක ගොඩනගන එක කරන්න සැලසුම්කර තිබෙනවා.

පාර්ලිමේන්තුව නැවත ලබන මස (අප්‍රේල්) 04දා පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment