සීනිවල තිත්ත ඇත්ත හෙළි කළ යුතුය

211

මේ වනවිට සමස්තයක් ලෙස බඩු මිල ඉහළ ගොස් තිබේ. එනිසාම පාරිභෝගික ජනතාව වැටී ඇත්තේ ලොකු අමාරුවකය. මෙම බඩු මිල වැඩි වීමට සාපේක්‍ෂව ජනතාවගේ ආදායම ඉහළ ගොස් නැති බැවින් ඔවුන් කබලෙන් ළිපට වැටෙන තත්ත්වයකට පත්ව තිබේ. කොරෝනා වසංගතය සමඟ රටේ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම මත වැටුප් වැඩි කිරීම යන සාධකය ප‍්‍රායෝගික නොවන බව සත්‍යයකි. එනිසාම මේ මොහොතේ ජනතාවට ලබාදිය හැකි පහසුම ප‍්‍රතිලාභය වනුයේ භාණ්ඩ මිල වැඩි නොකර යම් ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යෑමයි. ඒ සඳහා රජය මෙන්ම පාරිභෝගික අධිකාරිය යම් සාධනීය පියවරක් ගත යුතුව ඇත.

පසුගිය දිනවල භාණ්ඩවල මිල ඉහළ යෑම සලකා බැලූ කල වැඩියෙන්ම වැඩිවී ඇත්තේ සීනිය. මේ සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතාබහ ඇතිවී තිබෙන අතර සීනි මිල වැඩිවීමට එරෙහිව විපක්‍ෂයේ විවිධ පාර්ශ්ව රජයට එරෙහිව දැඩි වාග් ප‍්‍රහාර එල්ල කරමින් සිටියි.

සීනි තොග මිල රුපියල් 80 ක් හා උපරිම සිල්ලර මිල 85 ක් ලෙසට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී සීනි ආනයනය කිරීමේ බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රුපියල් කෝටි 1500 කට වැඩි බදු වංචාවක් සිදුවූ බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හ`දුන්නෙත්ති මහතා චෝදනා කරයි. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ බවත් ඒ වන විටත් සීනි මෙටි‍්‍රක් ටොන් 90000 ක් ගෙනවිත් තිබුණු බවද පෙන්වා දෙන හෙතෙම කියා සිටී.

මෙම අවස්ථාවේදී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සීනි අපනයනකරුවන් දොළොස් දෙනකු සමඟ ගිවිසුම් ගතවූ නමුත් ඒ වන විට සීනි අපනයන කි‍්‍රයාවලියේ 65 දෙනකු නිරතව සිටි බවද කියා සිටී. ගිවිසුම් ගහපු කාලය පසුගිය

අපේ‍්‍රල් මාසයෙන් අවසන් වූ පසු සීනි මිල වේගයෙන් ඉහළ ගිය බවද ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ සීනි කිලෝ එකක සිල්ලර මිල රුපියල් 240 ක් දක්වා ඉහළ ගිය බවද හෙතෙම කියා සිටී. එය සත්‍යයකි. මේ වන රුපියල් 100 හෝ 115 හෝ වෙනත් කිිසිදු පාලන මිලකට සීනි මිලදීගත නොහැක. එනිසාම ප්ලේන්ටියේ සිට සීනි යොදා සාදන සෑම නිෂ්පාදනයකම මිල ඉහළ යෑමට එය හේතුවී තිබේ.

සීනි මිල ඩබල් වී ඊටත් වඩා ටිකක් වැඩිවීමට හේතුව සොයා ගැනීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ යුතුය. එපමණක් නොව සීනි මිල සැබෑ ලෙස ප‍්‍රායෝගිකව අඩුකරගත හැකි ක‍්‍රමවේදය පිළිබඳව සොයා බැලීමට අදාළ ඇමැතිවරුන් වහා කටයුතු කළ යුතුව ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව සීනි කිලෝවක් රුපියල් 92 ක මිලට ගෙන පාරිභෝගික ජනතාවට එය රුපියල් 98 ට ලබාදිය හැකි බවයි. සීනි කිලෝවකින් රුපියල් 100 කට අධික ලාභයක් ලබමින් ජාවාරම්කරුවන් වසරකට රුපියල් බිලියන 70 ක් පමණ උපයන බවද චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

විපක්‍ෂය න`ගන මෙම චෝදනාවලට රජයේ අදාළ පාර්ශ්ව පිළිතුරු දිය යුතුය. සීනි කතාවේ තිත්ත කතාව සමාජය හමුවේ හෙළිදරව් කර ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තකි.

මේ අතර වත්තල මාබෝල නීති විරෝධීව පවත්වාගෙන ගිය සීනි ගබඩාවක් පාරිභෝගික අධිකාරිය විසින් පෙරේදා වටලන ලදී. එහිදී තිබූ සීනි මෙටි‍්‍රක් ටොන් 4800 කට සීල් තැබීමට පියවර ගෙන ඇත. මේ අතර ඊයේ කෙරවලපිටිය සහ කිරිබත්ගොඩ ප‍්‍රදේශවල නීති විරෝධීව පවත්වාගෙන ගිය සීනි ගබඩා දෙකක්ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබිණි. කිරිබත්ගොඩ ගබඩාවෙන් සීනි මෙටි‍්‍රක් ටොන් 800 ක් හා කෙරවලපිටිය ගබඩාවෙන් සීනි මෙටි‍්‍රක් ටොන් 4096 ක් සොයා ගැනුණු අතර එම ගබඩාද සීල් තැබීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබිණි. කවුරුන් හෝ වෙළෙඳපොළේ සීනි හිඟයක් ඇති කරමින් පාරිභෝගිකයන් සූරා කෑමට පියවර ගන්නේ නම් ඒවා නැවැත්වීම අදාළ බලධාරීන්ගේ යුතුකමකි. එසේම වෙළෙඳපොළ තුළ සීනි මිල වැඩිකිරීමේ අරමුණෙන් යම් පිරිසක් කි‍්‍රයා කරන්නේ නම් ඒවා නැවැත්වීමද, වැඩිවී තිබෙන සීනි මිල පාරිභෝගිකයාට දරා ගැනීමේ මට්ටමට ගෙනඒමට රජයට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට නොපමාව කළ යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment