වවුනියා දිස්ත්‍රික්කයේ වවුනියා උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නයිනමඩු වනරක්ෂිතයේ පවතින අතිශයින් වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් වන වඩ්ඩමාන පබ්බත විහාරය නොහොත් වඩුන්නාගලට පසුගිය ශිව රාත්‍රී දිනයේදී මන්ත්‍රී රවිහරන්ගේ අනුගාමිකයන් පිරිසක් කඩා වැදී පූජාවක් පවත්වන විලාසයෙන් කළ කෝලාහලය පොලිසිය විසින් වළක්වා ගනු ලැබූයේ මහත් ආයාසයෙනි. මේ පිරිස අතරින් අටදෙනකු අත්අඩංගුවට පත් වූ අතර මාර්තු 11 වැනි දින පැවැති නඩු විභාගයේ දී ඔවුහු තව දුරටත් හිර ගතකොට ඇත. වඩ්ඩමාන පබ්බත විහාර පරිශ්‍රයේ ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් පැරණි සිංහල බ්‍රාහ්මී අක්ෂර මඟින් කොටවන ලද ලේඛන තුනක් කටාරම් සහිත ගල්ලෙන්වල පිහිටා තිබේ. එයට අමතරව වඩුන්නාගල පර්වත මස්තකයේ ගරාවැටුණු දාගැබ් දෙකක් ආරාම සංකිර්ණයන්හි නටබුන් මෙන්ම දිය නොසිඳෙන ස්වභාවික පොකුණක් ද දක්නට ලැබේ.

වඩ්ඩමාන නොහෙත් වඩුන්නාගල පර්වත ශිඛරය බවුන් වඩන යෝගාවචරයන් වහන්සේලාට අතිශයින් වැදගත් තපෝවනයකි. ගොදුරු ගම් වශයෙන් පැවැති ජනාවාස වඩාත් දුරකින් නොවූ බැවින් ප්‍රත්‍ය පහසුකම් සැපයීමට දුෂ්කරතා ඇති නොවෙයි. මෙහි හාත්පස යම් ගවේෂණයක් සිදු කළහොත් පුරාණ සිංහල ජනාවාසයන්ගේ වැදගත් සලකුණු මතුකර ගතහැකිව බව නිසැකය. 1964 වර්ෂයේ දී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රථම වරට මෙම ස්ථානයට වැඩම කරන කල්හි උන්වහන්සේට මඟපෙන්වන ලද්දේ දෙමළ මනුෂ්‍යයෙකි. පුරාණ සිංහල ගම්මාන මේ අවට පිහිටි බව එම පුද්ගලයා පැවසූ ආකාරය උන්වහන්සේගේ ග්‍රන්ථයන්හි දක්වා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2013 වසරේ දී මෙම ස්ථානය පිළිබඳ ගවේෂණය කර වාර්තාවක් සකස් කර තිබේ. එහි සඳහන් කර ඇති ආකාරය ට මෙම ස්ථානය පැහැදිලිව ම බෞද්ධ විහාරයකි. වර්තමානයේ දී එහි අයිතිකරුවා වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. 1940 පුරාවස්තු ආඥා පනත අනුව මේ පුරාවිද්‍යා ස්ථානය රැක ගැනීමට එම දෙපාර්තමේන්තුවට බරපතළ වගකීමක් පැවරී තිබේ.

2018 වසරේදී මෙම ස්ථානයට කඩා වැදුණු දෙමළ පිරිසක් විසින් එහි පවතින කටාරම් කෙටවූ ගල්ලෙන ආශ්‍රිතව අනවසර ඉදි කිරීමක් කොට හින්දු දේව පිළිම තැන්පත් කොට පුරාවස්තු විනාශයක් සිදු කර තිබේ. අනතුරුව පර්වත මස්තකයේ ශිව පිළිමය තැන්පත් කර ඒ පර්වතයට නැඟීමට යකඩ පඩිපෙළක් ඉදි කිරීම නිසා සිදු වූ පුරාවිද්‍යා හානිය මත දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වවුනියා මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු තුනක් විභාග වෙමින් පවතී. මින් පුරාවිද්‍යා නාම පුවරුව කැඩූ නඩුව සාක්ෂි නොමැති කමින් බහා තබා අති අතර අනෙක් නඩු දෙක ( බී /806/23 සහ බී/2086/20) විභාග වෙමින් පවතී. මෙවැනි තත්ත්වයක් තිබිය දී 2023 මාර්තු මස අවසාන සතියේදී නැවතත් උතුරු පළාතේ දේශපාලඥයන් කීපදෙනෙකුගේ සාභාගිත්වයෙන් මෙම ස්ථානයේ දේවරූප තැන්පත් කිරීමට සැරසෙන බව සැල වූ බැවින් වවුනියා පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ආර්.ජී. ජයතිලක මහතා වහා ක්‍රියාකාරී වී මෙම සාපරාධී ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට නෙදුන්කර්නි පොලිස් ස්ථානාධිපති වෙත 2023/03/30 සහ 2023/04/01 දින ලිපි දෙකකින් දන්වා ඇත.

වඩ්ඩමාන වෙහෙරට වධ බන්ධන බුද්ධ ශාසන ඇමැතිට මන නන්දන

නමුත් මෙම ස්ථානයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව හැඟී ගිය හෙයින් උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ වවුනියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද දැනුම්වත් කර තිබේ. එහෙත් 2023/04/02 දින මෙම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු පිරිසක් ඩෝසර යොදා රක්ෂිතය එළිපෙහෙළි කරමින් මාර්ගය පාදා ට්‍රැක්ටරයක් මඟින් විශාල ශිව ලිංගයක් ප්‍රවාහනය කර වඩුන්නාගල පර්වත මස්තකයේ පවතින පැරණි දාගැබ හාරා විනාශ කර එම දේවරූප තබා ඇත.

මෙරට අතීතයේ සිට පැවැති බෞද්ධ සිද්ධස්ථාන විදෙස් සතුරු ආක්‍රමණ හමුවේ ඝන වනයට යට වී ජරාවාසව ගරා වැටුණු පසු සියවස් ගණනාවක් තිස්සේ බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට ඉඩ නො ලැබිණි. පෙර පිහිටි රට වශයෙන් සැලකූ දැදුරු ඔයෙන් ඉහළ ප්‍රදේශය සහ මහවැලි ගඟෙන් නැඟෙනහිර ප්‍රදේශය මෙලෙස ජන ශූන්‍ය භාවයට පත්ව තිබුණි. පරංගි ආක්‍රමණ සහ ලන්දේසි අත්පත් කර ගැනීම් හමුවේ ජන ශූන්‍ය වූ මේ පෙදෙස්වල දෙමළ වහල් ජනතාව සහ මුස්ලිම් වාණිජයන් පදිංචි කරවූහ. අනුරාධපුර ශුද්ධ නගරය සංවර්ධනය කරනු වස් වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතාණන් කළ මහා මෙහෙය නිසා නුවර කලාවිය යළි පිබිදෙනු දක්නට හැකිවිය. බ්‍රිතාත්‍ය පාලනය යටතේ තවදුරටත් දෙමළ ජනාවාස පුළුල් වුවද වෙළෙඳ අභිප්‍රායන් මත දකුණෙන් සංක්‍රමණය වූ සිංහල ජනතාව උතුර සහ නැඟෙනහිර පදිංචි වී සේරුවාවිල නාග ද්වීපය, මුහුදු මහා විහාරය වැනි අතිශයින් වැදගත් බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර ගර ගත්හ. ලංකාවට නිදහස ලැබීමෙන් පසු මේ බෞද්ධ ප්‍රබෝධය තව තවත් පුළුල් විය. ජනපද බිහි වීම නිසා ගරාවැටුණු සිද්ධස්ථාන යළි ගොඩනැංවෙන්නට විය. නමුත් අසූව දශකයේ දී ආරම්භ වූ කොටි ත්‍රස්තවාදී යුද්ධය හමුවේ උතුරේ සිටි සිංහලයන් මෙන් ම නැඟෙනහිර පදිංචිව සිටි සිංහලයන්ටද ගම්බිම් දමා සරණාගත කඳවුරුවලට ගාල් වන්නට සිදු විය. ඉන්දියන් හමුදාවේ කුරිරුකම් නිසා චීනවරාය නායක ස්වාමීන් වහන්සේ ඝාතනය වූ ආකාරය කාටත් හොඳට මතක ඇතැයි සිතමි. 2009 වසරේ සිට කොටි ඝාතක යුද්ධයෙන් පීඩා විඳි ප්‍රදේශ ක්‍රමයෙන් නිදහස් වීමට පටන් ගත් අතර හමුදාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්වී කරන ලද ගවේශනවල ප්‍රතිඵලයක් වශයෙන් උතුර සහ නැඟෙනහිර පෙදෙස්වල පමණක් පැරණි නටබුන් සහිත ස්ථාන 1700කට වඩා සොයා ගන්නට යෙදුණි. මේ අතරින් වඩ්ඩමාන පබ්බත විහාරය ද එක් ස්ථානයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2010 සිට 2013 දක්වා කරන ලද ගවේශනවල දී පර්වත මස්තකයේ පැවැති දාගැබක නටබුන් පැහැදිලි ලෙසට දක්නට ලැබිණි. නමුත් 2018 දී අලුතෙන් ගොඩනංවන ලද කෝවිල නිසා මේ දාගැබ සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

වඩ්ඩමාන වෙහෙරට වධ බන්ධන බුද්ධ ශාසන ඇමැතිට මන නන්දන

මෙම ස්ථානයේ පැරණි නාමය වඩ්ඩමනා විහාරය වුවද ඔවුහු මෙයට වෙඩිකිරිනාමලේ යනුවෙන් දක්වන නාම ස්වරූපය දැනට ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසිද්ධ වී ඇතිවාට නිසැකය. හේතුව ඉන්දියාවේ ශිව සේනා ආධාර ලබා මේ අන්තවාදීන් වරින් වර ඇති කරන කලබල මධ්‍යයේ ඔවුන්ගේ මාධ්‍ය ප්‍රචාරක යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමයි. උතුර නියෝජනය කරන රවිහරන් පොන්නම්බලම් වැනි දේශපාලනඥයන් ද හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද මෙම විනාශයට ඍජුව සම්බන්ධය. මේ නඩු සඳහා පෙනී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා බව ද නොරහසිකි. මෙම 12 වැනිදා වවුනියා උසාවියේ පැවැති නඩු විභාගයේ දී පුරාවිද්‍යා වර්තාව සිංහල බසින් සකස් කර ඇතැයි ද එය පිළි ගැනුමට නොහැකි යැයිද කියා ඔහු මහත් කලබගෑනියක් කර ඇත.

1940 පුරාවස්තු ආඥා පනත අනුව නටබුන් තත්ත්වයේ තිබෙන සෑම පැරණි ස්ථානයක් ම පුරාවිද්‍යා මඟන් ආවරණය වේ. ඒ ස්ථාන ගවේෂණය කොට එහි මුල් ස්වරූපය පිළිබඳ දෙපාර්තමේන්තුව දරන අදහස ප්‍රකාශ කරති. ඒ අනුව මෙරට හමු වූ වැඩි ප්‍රමාණයක් පුරාවිද්‍යා ස්ථාන බෞද්ධ සිද්ධස්ථානයන් වෙයි. නමුත් පුරාවිද්‍යා පනත අනුව යම් කිසි ස්ථානයක විනාශයක් සම්බන්ධ නඩු කටයුත්තක් සිදු වන කල්හි දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්ය වශයෙන් සිදු වන්නේ පුරාවිද්‍යා හානිය ගණනය කිරීමයි. ඒ ස්ථානයේ අනන්‍යතාවය ඉස්මතු කරන්නේ වාර්තාවකින් පමණි. වඩුන්නාගල පැරණි බෞද්ධ විහාරයේ ශිව පූජා පැවැත් වීමට ශිව සේනා අනුගාමිකයන්ට ඉඩ හසර ලැබෙන්නේ ඒ නිසාය. අවාසනාවකට මෙරට වත්මනෙහි බුද්ධ ශාසන භාරව සිටින්නේ ශාසනික පැවැත්ම පිළිබද අබමල් රේණුවක වත් හැඟිමක් නොහමැති පුද්ගලයෙක් යටතේය. පුරාවිද්‍යා ස්ථානයක් වුවද බෞද්ධ විහාරයක් නම් බුද්ධ ශාසන ඇමැති ලෙසට ඔහුට මැදිහත් වීමට තිබෙන අයිතිය පැහැදිලිය. වඩුන්නාගල යනු බෞද්ධ විහාරයක් බවත් ඒහි වෙනත් පූජා පැවැත්වීමට ඉඩ දිය නොහැකි යැයි බුද්ධ ශාසන ඇමති වශයෙන් ඔහුට ප්‍රකාශ කළ හැකිය. එහෙත් ඔහු නිහඬය. ඒ වෙනුවට ඉන්දියාවේ අනුග්‍රහයෙන් ශිව පූජා පැවැත්වීම ද භගවත් ගීතා සංර්දර්ශන පැවැත්වීම ද ඔහුගේ මන නන්දනයට හේතු වේ. ත්‍රිකුණාමලය කන්නියා උණුවතුර ළිං ආශ්‍රිත බෞද්ධ ආරාමයේ අවසර පත්‍රයේ තිබූ බෞද්ධ වචනය ඉවත් කිරීමට කරන ලද උපක්‍රමය මේ සියලු දෙනා සම්බන්ධය. කුරුන්දි විහාර ධාතු නිධාන උත්සවය අවස්ථාවේ දී දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි එය නැවැත්වීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග දුන් හැටි අපට මතකය. ඒ කිසිවක් ලිඛිතව නොවේ. මෙවැනි තත්ත්වයක් යටතේ ඇතිව තිබෙන ආරාජිකත්වය මඟහැර යෑමට කළ හැකි දේ බොහෝය. ඒ සඳහා සූදානම් වීම නුවණට හුරුය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment