අසල්වැසි දේශයේ ජනදිවිය අපට කියන ඉන්දියානු ජනකතා

287

අනුවර්තනය: – පියසේන වික්‍රමගේ

පොත් සමඟ බැඳුනු ජීවිතයකට උරුමකම් ඇති, පියසේන වික්‍රමගේ මුල් යුගයේ සිනමා ලේඛනයට කැප වූවෙකි. සහමුලින්ම ඉන් විනිර්මුක්ත නොවූවත්, ක්‍රමයෙන් ළමා සාහිත්‍යයට නැඹුරු වන සෙයක් දක්නට ලැබුණි. “යෝදයාගේ උයන” “රටවල් අටක ජනකතා අටක්” “උතුරු ඇමරිකානු ජනකතා විසි අටකි” යනු ඉන් කෘති ත්‍රිත්වයක් පමණකි. දැන් ඔහු ඉන්දියානු ජනකතා තිස්හතරක් සිවු කාණ්ඩයන්ට බෙදා සහෘර්දානන්දයට පිරිනමා තිබේ. මේ සියල්ල ඔහු පාඨකයාට දායාද කර ඇත්තේ අනුවර්තකයෙකු හා පරිවර්තකයකු ලෙසින් සිය ප්‍රතිභාව ප්‍රදර්ශනය කරමිනි. “ඉන්දියානු ජනකතා” නාමගන්වා ඇත්තේ මෙලෙසිනි. “ජනකාන්ත සුරංගනා කතා” “මහා කාව්‍ය කතන්දර” “ජාතක කතාවලින් කතන්දර” “ප්‍රාදේශීය කතන්දර හා පුරාවෘත්ත” යනු ඒවාය. මෙයින් ඇතැම් කතාවක් සිංහල පාඨකයාට බෙහෙවින් හුරු පුරුදුය.

සාර්ථක ළමා සාහිත්‍ය නිර්මාණයක් කුඩා දරුවාට මෙන්ම වැඩිහිටියාටත් රසවින්දනය කළ හැක්කක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්ගේ බොහෝ නිර්මාණ ඊට සාධක සපයයි, නමුත් එය කුඩා දරුවාට සියුම් චමත්කාරයක්, ආනන්දයක් සමඟ පණිවිඩයකින් ද සමන්විත විය යුතුය. මෙහි ජනකාන්ත සුරංගනා කතා යටතේ පැනෙන “හිවල් පැංචා සහ සිංහරාජයා” එවන් රසාලින්ත ක්‍ෂුද්‍ර නිර්මාණයකි. රුදුරු සිංහ රාජයෙක් මුළු වනාන්තරයේම සතුන් මරා කෑ පසු ඉතිරි වූයේ කුඩා හිවල් යුවළක් පමණි. උන් දෙන්නා උපායශීලීව කටයුතු කර සිංහරාජයාගෙන් දිවි ගලවා ගත් අයුරු මෙහි රසවත් ලෙස සුචිතය. මෙය පරිශීලනය කරන කුඩා දරුවන් තුළ චමත්කාර ආනන්දයක් ජනනය වීම ඉතා වටිනා ගුණාංගයකි. ඒ උදෙසා අනුවර්තකයා උපයුක්ත බස මෙන්ම සංක්‍ෂිප්තතාව ද හේතුවක් වී ඇති බව පැවසිය යුතුය.

“මොකක්ද බොල, ඒ කතාවේ තේරුම? මේ අඩවියෙ මට පිටින් තවත් සිංහයෙක් කොයින්ද? උඹලා ඒක සහසුද්දෙන් දන්නැද්ද?”

“ඇත්ත, ඇත්ත මගෙ සිංහ රජුනේ, හිවල් හාමි ආරූඪ කර ගත් ගෞරවයකින් කීවා. එහෙම තමයි අප හැමෝම හිතාගෙන හිටියේ. ඒ වුණාට සිංහ රජුනේ ඇත්තටම තවත් සිංහයෙක් ඉන්නවා. සත්තයි. ඒ විතරක් නොවෙයි අපේ සිංහ රජුට වඩා විශාලයි. හරිම වස නපුරුයි. ගෙරවුම් හඬ ඊට හපන්.”

පළමුවන කාණ්ඩයේ අවසන් නිර්මාණය වන “නුග මුව රජුගේ කතන්දරේ’‘ අනුවර්තකයාම පවසන පරිදි පන්සිය පනස් ජාතක පොතේ දෙසිය හයවන කතාව වන “කුරුගම්ග ජාතකය” හා සමාන වූවකි. තරුණ රසයෙන් අනූන මෙය උත්තම ගණයේ පුරාවෘත්තයකි. මෙමගින් කුඩා දරුවා තුළ මාතෘත්වය යනු කුමක්ද? සැබෑ නායකත්වය කවරේද? ප්‍රාණ ඝාතයෙන් වැළකීමේ වටිනාකම කෙබඳු ද යන පණිවිඩ ගණනාවක් ජනනය කරන බව කිව යුතුය.

රජුට මස් සැපයීම උදෙසා දංගෙඩියට ගෙල තැබීමට නියම වූ මුවදෙනක් දරුවා ලැබී දින ගණනක් බැවින් මරණය කල් දමා දෙන ලෙස තම නායකයාගෙන් අයදින්නීය. එය වැරදුණු තැන අනෙක් නායකයා වෙත යන්නීය. ඔහු ඇය වෙනුවෙන් දංගෙඩියට ගෙල තැබීම නිසා සිදු වූ වෙනස මෙසේ විස්තර කෙරේ.

“නුග මුව රජාණෙනි
නොවින්දෙමි නොදුටුවෙමි
ඔබ අසිරිමත් නායක රජෙකි….
සතුන් දඩයම කිනම් කාරණාවකට වුව
මම නොකරමි
කොටින්ම සියලු සතුන්ට
අභයදානය දෙමි….

“මහා කාව්‍ය කතන්දර” යනුවෙන් නාම ගන්වා ඇති දෙවන කාණ්ඩයෙහි මහා භාරත මහා කාව්‍යයට ඇතුළත් “නල දමයන්ති” “සකුන්තලා’‘ නම් ප්‍රකට පුරාවෘත්තයන් ද ඇතුළත් කිරීමට අනුවර්තකයා පෙළඹී තිබේ. ඒවා ප්‍රේම පුරාවෘත්තයන් වුවත්, කුඩා දරුවන්ගේ මනස්වලට ගෝචර වන පරිදි සංයමයෙන් හා රමණීයාකාරයෙන් විවරණය අනුවර්තකයා ප්‍රෝත්සාහී වී ඇති අයුරු පැසසුම් ලැබිය යුත්තකි.

“දින ගෙවුණා. දිනෙක නල රාජ කුමරු පඳුරින් වැසී ගත් ගස් ගොන්නක සෙවණේ වාඩි වී සිටියා. රජකුමරා සිහින මවමින් සිටියේ නුදුරු දිනයක තමා හමුවෙහි ඉන්නා ප්‍රේමාන්විත දමයන්ති කුමරිය පිළිබඳවයි. ඒ විලසින් ඉන්නා අතරේ සුදු හංස රෑනක් පියඹා විත් රාජ කුමරුට සමීප ස්ථානයක වැසුවා. හංස රෑනේ නිර්මල සුදු පියාපත්වල රන් බින්දු පෙළට පිහිටා තිබුණා.”

“සකුන්තලාවට ඊටත් වඩා සිත් කම්පා කරන සිදුවීමක් මේ අතර සිද්ධ වුණා. ඇය නිවහන අසල දොළ පාරේ ස්නානය කරමින් සිටියදී එය සිදු වුණේ. දුෂ්‍යන්ත නාමය කැටයම් කර තිබූ ඇය අත පැළඳි මුද්ද ඇඟිල්ලෙන් ලිස්සා ගියා. දුෂ්‍යන්ත රජුගේ මංගල තෑග්ග.”

මේ හැරුණු විට “හඳේ හාවා සිතුවම් වූ වග”, “මී අඹ වෙළෙන්දිය”, “ප්‍රීතිමත් එඩේරා” “සින්දු කියන කුරුල්ලාගේ ගීතය”, “උත්තරීතර මිනිසා”, “සුරබිදෙන” වැනි රසවත් පුරාවෘත්ත බොහොමයක් පියසේන වික්‍රමගේ අතින් සිංහලයට අනුවර්තනය වී තිබේ. මේ සියල්ල කුඩා, වැඩිහිටි උභය පාර්ශ්වයන්ට ගැලපෙන පරිදි නිර්මිතව තිබීම අනුවර්තකයාගේ කුසලතාව තහවුරු කරයි. ප්‍රමාණාත්මක දිගු නිර්මාණ පරයා කුඩා කතා නැගී සිටින බව ද පැහැදිලිව පෙනී යන්නකි. කුඩා දරුැවාට වුව සංක්‍ෂිප්තව නිර්මාණ ඉදිරිපත් කිරීම අතිශයින් යහපත් යයි හැඟේ.

නිර්මාණකරණයේදී කථික භාෂාවට සමීප වූ බසක් පළමුව පරිහරණය කළෝ නන්දසේන රත්නාපාලයෝ වෙති. මෙහිදී ද එවන් බසක් උපයුක්ත කර ගැනීම, කතාවල රසය තීව්‍ර වීමට උපස්ථම්භක ඇති බව අපගේ පෞද්ගලික හැඟීමයි.

මෙතෙක් අපි “ඉන්දියානු ජනකතා” කෘතියේ සාර්ථක ලක්ෂණ පෙන්වා දුනිමු. එහෙත් කිසිදු නිර්මාණයක් සහමුලින්ම දුබලතාවලින් විනිර්මුක්ත නොවේ. “අත්‍යාවශ්‍ය’‘ “අත්‍යාලංකාර” වැනි වැරදි වදන් අනුවර්තකයා අතින් භාවිත වී තිබේ. ආදේශයෙන් ඒ වදන් සෑදෙන්නේ “අත්‍යවශ්‍ය” “අත්‍යලංකාර” යනුවෙනි. “සිහ රද මිය පරලොව ගියාය” “දෙවියන් පිරිවර දෙස සෙමින් සෙමින් හිස හරවා දමයන්ති කුමරිය” “රුහිරු ලේ තැන තැන විසිරිලා” මේවා සිදු නොවිය යුතු වැරදි බව පැවසීම අනුවර්තකයාට කරන අගෞරවයක් නොවේ. කුමරතුඟුවන්ගේ “සෙමෙන් සෙමෙන්” යන නිර්මාණ භාවිතය අප මනසට ඇදී එයි. වැඩිහිටි පාඨකයන් උදෙසා නිර්මාණ බිහිකරන ලේඛකයාට වඩා ළමා නිර්මාණකරණයෙහි නිමග්න වන්නා බස කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. එය අනාගතයේ බස රැක ගැනීමේ පදනම වන බැවිනි.

මෙබඳු අඩුපාඩුවක් අපට පෙනුණත්, උක්ත කෘතිය ළමා පරපුරේ ඇතුළාන්තය සැකසීමට මහඟු පිටිවහලක් වන බව නොකියා බැරිය. ඒ නිසා වගකීමක් ඇති දෙමව්පිය, ගුරුවර ආදීන්ගේ අවධානය මෙයට යොමු විය යුතුය. දරුවකු අතට මෙය පත් කළහොත් ළමයා යහපත් වැඩිහිටියකු වනු නොඅනුමානය. මෙවන් කෘතියක් බිහි කිරීම නිසා ලේඛකයාට ස්තුති යයි අපි පවසමු.

සුනිල් ගුණවර්ධන
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment