චීන පොහොර ආපසු හරවයි

265

මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට‍්‍රජන් කාබනික පොහොර, චීන සමාගමෙන් ආනයනය නොකිරීමට තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

එම පොහොර නිෂ්පාදන සමාගම විසින් එවා ඇති පොහොර සාම්පල් පරීක්‍ෂා කිරීමේදී පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්‍ෂණවලදී හෙළිවී ඇති බැවින් මෙම තීරණය ගත් බව ඇමැතිවරයා සඳහන් කළේය.

චීන පොහොර ආපසු හරවයි


කෙසේ නමුත් මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට රජයේ අවධානය යොමුවී තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.

වගකිවයුතු රජයක් ලෙස මෙරට භූමියට ,ශාකවලට හා සත්ත්වයින්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට මෙයට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරන බවත් පැවසූ ඇමැතිවරයා ඒ අනුව චීන සමාගමේ පොහොර මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බවත් සඳහන් කළේය.

පසුගිය රජය සමයේ රටේ භූමියට අහිතකර පොහොර විශාල වශයෙන් ආනයනය කර තිබෙන බවත් එම පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවීන් බැක්ටීරියාවන් තිබෙන බව රසායනාගාර පරීක්‍ෂාවලදී තහවුරු වී තිබියදී එම රසායනාගාර වාර්තා වෙනස්කර අහිතකර පොහොර ගෙනැවිත් ගොවීන්ට බෙදා දී තිබෙන බවත් පැවසූ ඇමැතිවරයා ජනතාවට වගකියන රජයක් විදහට තම රජය කිසිදු අහිතකර පොහොරක් මෙරටට නොගෙන්වන බවට ජනතාවට සහතික වන බවත් කීවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති ශාක නිරෝධායන මධ්‍යස්ථානයේ නිර්දේශ නොකරන කිසිදු පොහොර වර්ගයක් හෝ ද්‍රව්‍යයක් රට තුළට ගෙනඒමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය.

ශාක නිරෝධායන නීති රීති අකුරටම පිළිපදින ලෙසට ඇමැතිවරයා පූර්ණ බලතල ලබාදී තිබෙන බවත් පවතින නීති රීති වලට අනුව අප රටේ පසට හානිවන කිසිවක් රට තුළට ගෙනඒමට ඉඩක් නොලැබෙන බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සැලසුම් කර තිබූ පරිදි කාබනික පොහොර ටොන් 99000 ක් චීනයෙන්

ගෙන්වීමට අදාළව සාම්පල පළමු පරීක්‍ෂණය සැප්තැම්බර් මුල් සතියේ සිදුකළ බවත් එහි වාර්තාව සැප්තැම්බර් 9 වැනි දින නිකුත් කර තිබූ බවත් එමගින් ව්‍යාධිජනකයන් ඇති බවට තහවුරු වූ බවත් අනතුරුව අමාත්‍යාංශය මගින් නැවත දෙවන වරටත් සාම්පලයක් ගෙන්වා ශාක නිරෝධායන මධ්‍යස්ථානය හා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් කරන ලද පරීක්‍ෂණයේදී ද ව්‍යාධිජනකයන් ඇති බව පසුගිය 27 දා තහවුරු වූ බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

අනුර බාලසූරිය, සමන්තී වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment