කැබලිත්තේ කැළෑ පාලූවෝ උසාවියට ගෙන යද්දී පැහැරගනිති

575

සියඹලාණ්ඩුව අඩවි වන නිලධාරි කාර්යාලයට පෙරේදා (11දා) ලද තොරතුරක් මත යාල ජාතික වනෝද්‍යානයට අයත් කැබලිත්ත රක්ෂිතයේ සිදුකළ වැටලීමකදී වගා කටයුතු සඳහා රක්ෂිත ඉඩම් එළිපෙහෙළි කරමින් සිටි ගොවීන් පස් දෙනෙකු සමඟ ට‍්‍රැක්ටර් රථ තුනක්ද ගව ගාලක් ඉඳිකරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවටගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ට‍්‍රැක්ටර් රථ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනයමින් සිටියදී අතරමඟ රැක සිටි ගොවීන් පිරිසක් වන සංරක්ෂණ නිලධාරීන්ට තර්ජනය කොට සැකකරුවන් සහ ට‍්‍රැක්ටර් රථ මුදවාගෙන ඇත.

සියඹලාණ්ඩුව අඩවි වන නිලධාරී කාර්යාලයට අනුයුක්ත කොටියාගල බීට්ටු වන නිලධාරී ටී.ආර්. මුණසිංහ මහතාට කැබලිත්ත රක්ෂිතයට ගොවීන් පිරිසක් ඇතුළුවී වගා කටයුතු සඳහා ට‍්‍රැක්ටර් රථ යොදා ගනිමින් බිම් සකස් කරන බවට ලද තොරතුරක් මත මුණසිංහ මහතා ඇතුළු නිලධාරීන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එකොළොස් වැනිදා සවස කුලී පදනම මත ලබාගත් ට‍්‍රැක්ටර් රථයකින් අදාළ ප‍්‍රදේශයට ගොස් ඇත.

කැබලිත්ත රක්ෂිතයට අයත් වත්තේගම හත්ආර ප‍්‍රදේශයේදී වගා බිම් සකස් කරමින් සිටි ට‍්‍රැක්ටර් රථ තුනක් සමග ගොවීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන රැුගෙන එමින් සිටියදී අතරමඟ ගව ගාලක් ඉඳි කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන්ගේ වාඩිවල තිබූ ඉවුම්පිහුම් උපකරණද සමඟ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැුගෙන එමින් සිටියදී කහම්බාන කළුගම්මුල්ල හංදිය අසලදී මඟ රැුක සිටි හාරසියයකට ආසන්න ගොවීන් පිරිසක් ට‍්‍රැක්ටර් රථය නතර කොට වන සංරක්ෂණ නිලධාරීන් ඔවුන්ගේ භාරයටගෙන සැකකරුවන් මුදාගෙන ට‍්‍රැක්ටර් රථ තුනද අයිතිකරුවන්ට දී ඇත.

කාලයක් තිස්සේ රක්ෂිත වනයේ හේන් ගොවිතැන් කළ ගොවීන්ට මෙම මහ කන්නයේ සිට එම ඉඩම්වලට ඇතුළුවීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් තහනම් කර තිබිණි. තහනම ඉවත් කරන තුරු තමන් භාරයට ගත් වනසංරක්ෂණ නිලධාරීන් මුදානොහරින බවට ගොවීන් පවසා ඇත.

ඒ පිළිබඳව මොනරාගල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරු මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස්. චාමින්ද සංජීව මහතා ඇතුළු කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් ගොවීන් සමඟ සාකච්ඡුා කොට ගොවීන්ගේ ප‍්‍රශ්න වලට දේශපාලන අධිකාරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡුා කොට විසඳුමක් ලබාදීමට පොරොන්දු වීමෙන් අනතුරුව ඊයේ (12දා) අළුයම එකට පමණ ගොවීන් භාරයේ සිටි වන සංරක්ෂණ නිලධාරී මුදාහැර ඇත. බීට්ටු වන නිලධාරීන් වන ටී.ආර්. මුණසිංහ (වත්තේගම), එන්.ඞී. දහනායක(දොඹගහවෙල), එම්.පී. විතාරණ (කොටියාගල), වන ක්ෂේත‍්‍ර සහායකවරුන් වන සමන්ත දිසානායක, (වෙහෙරගොඩ),අයි.එම්.එම් ජනක කුමාර (වලන්දාහෙල),එම්.පී දයාරත්න (මුතුකණ්ඩිය) යන නිලධාරීන් මෙම වැටලීමට එක්ව සිටියහ.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment