දොඹගහවෙල ගංජා වැටලීමට ගිය සැරයන් බඳින තුවක්කුවට බිලි

90

දොඹගහවෙල පොලිස් වසමට අයත් පහතඅරාව ප්‍රදේශයේ හේන්යායක ගංජා වගාවක් වැටලීමට යද්දී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් සැරයන්වරයකු බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් (14) වෙනිදා මියගොස් ඇතැයි දොඹගහවෙල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දොඹගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයකළ පොලිස් සැරයන් 39378 ජයසිංහආරච්චිලාගේ මලින්ද ඉන්ද්‍රජිත් ජයතිස්ස (42) නමැති ගලබැද්ද ගල්ගෙඩියාව පදිංචි දෙදරු පියෙකි.

හෙතෙම පොලිස් සැරයන් 71805 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 41788 ලක්මාල් යන නිලධාරීන් සමඟ ඉකුත් 14 වෙනිදා උදෑසන පහතඅරාව කොකාඉද්දමඩ ප්‍රදේශයට ගොස් ඇත්තේ ගංජා වගාවක් වැටලීම සඳහාය.

කොකාඉද්දමඩ ප්‍රදේශයේ කැළෑ ප්‍රදේශයක් පසුකර ගොස් එම ස්ථානය පරීක්ෂා කිරීමේදී බඳින තුවක්කුවක් පත්තුවී සැරයන්වරයා බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සියඹලාණ්ඩුව වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. දිනේෂ් සුබසිංහ මහතා සිද්ධිය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පිට සහකාර පොලිස් අධිකාරී (iv) සී. ඩබ්ලිව්. චනක ඉද්දමල්ගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ඩී. එම්. කුමාරසිංහ මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment