දහතුනේ බකලේ සමග දුරුවෙයි ද අපලේ!

133

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව අමතමින් (09 දා) සිදුකරන ලද විශේෂ ප්‍රකාශයෙහි තේමාව වූයේ 13 වැනි සංශෝධනයෙහි සඳහන් විධිවිධාන සක්‍රීය කිරීමය. මෙහිදී පොලිස් බලතල හැර අනෙක් කරුණු ක්‍රියාත්මක කළ යුතු බව ඔහුගේ ප්‍රකාශයෙහි හරය විය. ජේ. ආර්. ජයවර්ධන පාලන සමයෙහි ඉන්දියාවේ මැදිහත්වීමෙන් අපේ ව්‍යවස්ථාවට එක් වූ එම 13 වැනි සංශෝධනය වසර 36 ක පමණ කාලයක් බහා තබන ලද නීතිමය විධායනයකි. මෙම විවාදාත්මක සංශෝධනය බලාත්මක කිරීමට මේ රටේ බලයට පත් කිසිම ජනාධිපතිවරයෙක් උනන්දු නොවූ බව කව්රුත් දනිති. එහෙත් ජනාධිපති රනිල් ඒ සඳහා කිසිදු පැකිලීමකින් තොව ඉදිරිපත් වී සිටියි. ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශයෙහි හරය මෙන්ම ඔහුගේ සාධනීය යෝජනා පිළිගැනීම සියලු දේශපාලන පක්‍ෂවල වගකීමකි. එසේ වුවද එහිදී ඔහු සඳහන් කළ අතිශය විවාදාත්මක කරුණක් ද විය. එනම් ආණ්ඩුව විසින් රටවල්වලට ලබාදෙන ලද ප්‍රතිඥාවන් නිසා මෙම පළාත් සභා අහෝසි කළ නොහැකිය යන්න ය. එය ස්වාධීන ස්වෛරී රටක ජනතා පරමාධිපත්‍යයට අභියෝග කිරීමකි. මහජන වරමකින් බලයට පත්වන ආණ්ඩුවක් කවර හෝ රටක රූකඩයක් විය යුතු නැති බව අපගේ අවධාරණයයි. එසේම ජනාධිපතිවරයාගේම තර්කය අනුව 13 වැනි ව්‍යවස්ථාවේ ප්‍රබල කරුණක් වන පොලිස් බලතල ලබානොදීම සම්බන්ධයෙන් වුවද ඒ රටවල්වලට බලපෑමක් කළ හැකිය. එහෙත් පොලිස් බලතල ලබාදීම සංවේදී කරුණක් බව ජනාධිපති රනිල් පිළිගනී. ඔහු යෝජනා කරන්නේ අනෙක් විධිවිධාන බලාත්මක කිරීමටය.

13 වන සංශෝධනයෙහි අඩංගු විධි විධාන සම්බන්ධයෙන් පවතින සාධනීය විවේචන මෙන්ම දේශපාලන බියගැන්වීම් ද බොහෝ ය. අදටත් මෙරටේ දේශපාලනයේදී ජාතිය, ආගම යන කරුණු යොදාගනු ලබන්නේ හුදු බලය ලබා ගැනීම සඳහාම ය. ජාතිවාදය හා ජාතිකත්වය අතර වෙනස වටහා ගත් ප්‍රබුද්ධ දේශපාලනයක සංඥා රටට ලැබුණත් තවමත් ඒ අන්තවාදී බලවේග සිය පටු අරමුණු අත්හැර නොමැති බව ද අප වටහා ගත යුතුය. ජනාධිපති රනිල් මේ ගැටලුව විසඳීමට යොමුවීම ඇතැම් අයට නොරිසි වුවද තවදුරටත් එය නොතකා හැරිය යුතු නැති බව ද අපගේ අදහසයි. එහෙත් තවමත් මෙහිදී සෘජුව හා ප්‍රතිපත්තිමය කරුණු මත පිහිටමින් ඒ සාධාරණත්වය ලබාදීමට අපේ නායකයෝ ද අසමත්ව සිටිති.

දකුණේ ජනතාව මෙම සංශෝධනය දෙස සැකමුසුව බැලුවේත් බලන්නේත් එයින් රට බෙදී වර්ගවාදී ගැටුම් ඇතිවිය හැකිය යන අදහස නිසා ය. දෙමළ නායකයන්ගේ හැසිරීම්, ප්‍රකාශ ඒ අවිශ්වාසය වැඩි කිරීමට ද හේතු වී තිබේ. උතුරේ සිටින ප්‍රබුද්ධ ජන කොටස් දැන් දැන් තම නායකයන් පමණක් නොව ඔවුන්ගේ දේශපාලනය ද කෙබඳු එකක් දැයි වටහා ගනිමින් සිටිති. එහෙත් තවමත් දෙමළ ජනයා උසිගන්වමින් උතුරේ හා නැඟෙනහිර පුරාවස්තුන් හා ආගමික ස්ථාන සම්බන්ධයෙන් සිදුකරන දුෂ්ට මෙහෙයුම් අපට දැක ගත හැකිය.

පළාත් සභා ක්‍රමයට අද පොදු එකඟතාවක් තිබේ. එහෙත් අදටත් දේශපාලන පක්‍ෂ ක්‍රියාත්මක වන්නේ ඒවායේ තම බලය වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය නියෝජනයක් ලබා ගැනීමට පමණි. තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට ඒ හැම පක්‍ෂයක්ම ජනතාව රවටමින් සිටින බව ද රහසක් නොවේ. එසේම ඇතැම් මුස්ලිම් නායකයන්ගේ විවේචනයක් වී ඇත්තේ තම මුස්ලිම් ප්‍රජාව නොතකමින් මෙම පළාත් සභා නිර්මාණය වී තිබෙන බව ය. පසුගියදා පාර්ලිමේන්තුවේදී මුස්ලිම් නායකයකු වන රවුෆ් හකීම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තමන්ට ද සාකච්ඡාවක් ලබාදෙන ලෙස ය. පළාත් සභා සුදු අලියෙක් ලෙස හැඳින් වූයේ ද එයින් නිශ්චිත හා සුවිශේෂ කාර්යභාරයක් ඉටුනොවූ නිසා ය. ජනාධිපති රනිල් ප්‍රකාශ කළේ ද මධ්‍යම ආණ්ඩුව පැහැදිලිව ඒ බලතල වෙන් නොකිරීම වරදක් බව ය. සැබැවින් ම බලයට පත් වූ ආණ්ඩුවේ දේශපාලනය අනුගමනය කිරීම විනා බොහෝ පළාත් සභා ඒ ප්‍රදේශවල ජනතා ප්‍රශ්න ගැන අවධානයක් යොමු කළ බවක් ද කිව නොහැක. පළාත් සභාවල මහ ඇමැතිවරුන් පමණක් නොව ඇමැතිවරුන් ද ක්‍රියාත්මක වූ ආකාරය තුළින් අපට තහවුරු වන්නේ ද ඒවාද දූෂිත දේශපාලනයේම ප්‍රාදේශීය මෙහෙයුම් මධ්‍යස්ථාන වී තිබුණු බව ය. විවිධ පක්‍ෂවලට වැඩි බලයක් හිමි වූ පළාත් සභා සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව දැක්වූයේ ද සාධනීය ප්‍රතිචාර නොවේ. ඇතැම් විට පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර වුවමනා දේශපාලන පරිචයක් (මෙය කිසිවිටෙක සිදු වී නැත) ලබාදීම වෙනුවට තම අනුගාමිකයන්, නෑයන්, හිතවතුන් සඳහා ඒවා භාවිත වූ බව ද පෙනුණි. කොටින්ම ඒවා දේශපාලන රැකියා ආයතන බඳු විය.

දහතුනේ බකලේ සමග දුරුවෙයි ද අපලේ!

කෙසේ හෝ පළාත් සභා බලාත්මක කිරීමේ ක්‍රියාවලිය විග්‍රහ කරමින් ඒ සඳහා සිය යෝජනා හා අදාළ කෙටුම්පත් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපති රනිල් ට එහිදී මතු වූ යම් යම් කරුණු හා විවේචන නොතකා සිටීමට ද නොහැකි විය. විපක්‍ෂ නායක සජිත් ප්‍රකාශ කළේ පළාත් සභා, පළාත් පාලන ආයතන සියල්ලෙහිම මැතිවරණ කල්දමා සිටින පසුබිමක පළාත් සභා සඳහා බලතල යෝජනා කිරීම නිෂ්ඵල බව ය. ඔහු මෙන්ම විපක්‍ෂයේ තවත් අය ද ජනාධිපති රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියාකාරකම් දෙස බැලුවේ අවිශ්වාසය ද මුසු වූ අධිපතිවාදී පැවැත්මක් ලෙසය. විපක්‍ෂ නායක සජිත් ඒබ්‍රහම් ලින්කන් උපුටා දක්වමින් සඳහන් කළේ ද ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටී තිබෙන බව ය. එසේම එදා මර්දනයට විරුද්ධ වූ වත්මන් ජනාධිපති අද ඒවා නොතකා ක්‍රියාකරන බවට චෝදනාවක් ද කළ සජිත් පැවසුවේ ජනවරමක අවශ්‍යතාවය ඇත්ත වශයෙන්ම අද පාර්ලිමේන්තුවේ හැර වෙනත් කිසිම පළාත් පාලන හා පළාත් සභා ආයතනවල ද ජනතා නියෝජිතයෝ නොවෙති. මේ තත්ත්වය ඇති වූයේ ආණ්ඩුව මහජන මතයට ඇති බිය නිසාත්, නායකයන්ගේ අහංකාර මානසිකත්වය නිසාත් බවට විවෘත චෝදනා ඇත. ජනාධිපති රනිල් පළාත් පාලන මැතිවරණයට දැක් වූ දුෂ්ට ප්‍රතිචාර හා ඒ සම්බන්ධයෙන් පළ කළ උත්ප්‍රාසනීය අදහස් ද ජනතාවට මතකය. ඡන්ද පවත්වන්න සල්ලි තිබුණත් ඡන්ද ඇත්තේ නැතැයි ද ඔහු පැවසූ අහංකාර ලීලාව කවුරුත් දනිති.

පසුගියදා සජිත්ගේ ඒබ්‍රහම් ලින්කන් පරමාදර්ශයට ද ජනාධිපති රනිල් දැක්වූයේ උත්ප්‍රාසනීය ප්‍රතිචාරයකි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු කෙසේ ක්‍රියා කළ යුතු ද යන්න අද ප්‍රශ්නයකි. ජනාධිපති රනිල්ට ජනවරමක් නැතැයි යන අදහස ඔහු බලයට ගෙනා පොහොට්ටුවේම මහ ලේකම් ඇතුළු සමහර නායකයෝ ද ප්‍රසිද්ධියේ පවසති. මෙහිදී කැපී පෙනෙන තවත් කරුණක් ද ඇත. ඒ පොහොට්ටුවේ නායක මහින්ද හෝ ආණ්ඩුවේ අගමැති දිනේෂ් මේ සම්බන්ධයෙන් මෙතෙක් අදහසක් හෝ පවසා නොමැතිවීම ය. මහින්දගේ දේශපාලනය ජාතිකත්වයට වඩාත් නැඹුරු වූවකි. එහෙත් ඔහු දහතුනෙන් එහාට යන බලය බෙදීමක් (13+) ගැන ද ප්‍රකාශ කර ඇත. මේ ප්‍රකාශය ඇමැති ප්‍රසන්න යළිත් සිහිපත් කර ඇත. කුමක් වුවත් දේශපාලන ගල් ආඳෙකු ලෙස හැසිරෙන මහින්දටත් ඔහුගේ පක්‍ෂයටත් මෙහිදී මුනිවත රැකිය නොහැක. ජනාධිපති රනිල් යෝජනා කළේත් පොහොට්ටුවෙන් මන්ත්‍රීවරුන් වූ සියලු දෙනා විසින් ම එහි නායක මහින්ද සමඟ සාකච්ඡා කර 13 වැනි සංශෝධනය පිළිබඳ මතය ප්‍රකාශ කළ යුතු බවය. ඇත්තටම පාර්ලිමේන්තුව තුළ එකඟතාවක් ඇති කර ගත හැකි වන්නේ ද එබඳු සාකච්ඡාවකින් පසු එළඹෙන තීරණ අනුවය. අනෙක් අතට අද රටේ තිබෙන ජනතාව පීඩාවට පත් කෙරෙන සියලුම හේතු සාධක අමතක කරමින් හෝ ඒවාට උඩින් පනිමින් හදිසියේම ආණ්ඩුවේ දේශපාලන න්‍යායපත්‍රයේ අංක 1 බවට මෙම 13 වැනි සංශෝධනය ඉදිරිපත් වීම ගැන ද සමහරු විවිධ විවේචන විග්‍රහ දක්වති. ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට වුවමනා ඡන්ද සකස් කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට මෙම දේශපාලන මෙහෙයුම සිදුකරන්නේ දැයි සමහරු විමතිය පළ කරති.

ජනාධිපතිවරයා අද හැසිරෙන්නේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සිරිතට පිටුපාමින් දැයි අපට කිව නොහැක. ඔහු එදා විධායකයේ බලය ව්‍යවස්ථාවට ලබාගත යුතුය යන ස්ථාවරයෙහි පිහිටා කටයුතු කළ නායකයෙකි. එහෙත් අද ඔහුට චෝදනා එල්ල වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුලුවන පමණක් නොව විරෝධතා උද්ඝෝෂණ ආදිය දයා විරහිතව මර්දනය කරන්නෙකු ලෙස ය. ජයවර්ධනටත් වඩා ඔහු විධායක ක්‍රමයෙහි බැතිමතෙක් වී සිටින්නෙහි ද? ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ මැඬලීම සඳහා නීතිය භාවිත කළ ජයවර්ධන පාලන යුගය අපට මතකය. ජයවර්ධනට මැතිවරණ භීතිය මෙන්ම විපක්‍ෂය නිහඬ කිරීමේ වියරු මානසිකත්වයක් ද තිබුණි. 1982 කුප්‍රකට ජනමත විචාරණය ඔහු කැඳවූයේ මහජන මතය වළලා දැමීම සඳහා ය. එපමණක් නොව ඔහුගේ පක්‍ෂයේ ඇතැම් අය මැතිවරණ ප්‍රචණ්ඩත්වයට දැක්වූ මුග්ධ නැඹුරුව ප්‍රකට ය. මහර මැතිවරණයට ඉදිරිපත් වූ විජය කුමාරතුංගට මුහුණදීමට සිදු වූ පීඩනය හා භීෂණය පිළිබඳ දන්නා අය අදත් සිටිති. ජනාධිපති රනිල් ඒ ජයවර්ධනගේ දේශපාලන දොරටුවෙන් එළියට පැමිණි අයෙක් වුවත් ඔහුට තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳුණු අදහස් ය. එසේ වුවද අද ඔහුම ඔහුගේ ඒ දේශපාලන කීර්තියට හානි සිදුකරමින් සිටින්නෙහි ද? පළාත් පාලන මැතිවරණය අහෝසි කිරීමට ඔහු විසින් දරන ලද ප්‍රයත්නයන් සම්බන්ධයෙන් දැඩි විවේචන ද තිබේ.

පසුගිය සර්වපාක්‍ෂික සමුළුවේදීත් පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද නොපැවැත්වීමේ කරුණු ඉදිරිපත් වූ විටදීත් ඔහු එම හමුවෙන් නැගිට ගිය බවක් ද වාර්තා වේ. එය සත්‍යයක් ද? ඔහුගේ දේශපාලන ප්‍රතිචාර දෙස බලා සිටින ඇතැම් කෙනෙක් යළිත් ජයවර්ධන ක්‍රමයේ ජනමත විචාරණයක් පැවැත්වීමට වුවද බැරි නැතැයි පවසති. ඒ සැකය සිවිල් සමාජයෙහිද තිබේ. එහෙත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් අවනත කර ගන්නා ආකාරයට මෙරටේ ප්‍රබුද්ධ ජනතාව පමණක් නොව ගම් දනව්වල සාමාන්‍ය ජනතාව ද දිනාගත නොහැකි බව නම් අප කිව යුතුය.

ගෝඨාභයගේ ජනවරම තුළ දිදුලන ප්‍රතිඥාවක් වන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ යෝජනාව ගැන වුව ද පොහොට්ටුවේ ප්‍රබල සංවාදයක් නැත. ඒ සම්බන්ධයෙන් සිහිපත් කරන්නේ ද ගෙවිඳු කුමාරතුංග, සරත් වීරසේකර, උදය ගම්මන්පිල වැනි ස්වල්ප දෙනෙකි. ගම්මන්පිල ජනාධිපති රනිල්ට ප්‍රතිචාර දැක්වීමට කොළඹ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ ජනවරම ඉක්මවීමට නොහැකි බව මෙන්ම මහින්දත් එබඳු ආස්ථානයක නොසිටි බව ද පැවසීය. එහෙත් දේශපාලන ලාභ අලාභ ගිවිසුම විසින් පාලනය කරනු ලබන කිසිදු මන්ත්‍රීවරයෙක් මේ සම්බන්ධයෙන් අවංකව හා විවෘතව කතා නොකරන බව ද අපි දනිමු.

ජනාධිපති රනිල් මේ දේශපාලන දුබලතා හොඳින් දැන මැන, එසේම තම මතය අනුව පාර්ලිමේන්තුව වුවද මෙහෙයීමට සමත්ව සිටියි. සිය විශේෂ ප්‍රකාශ සඳහා පාර්ලිමේන්තුවට පැමිණි හැමවිටම ඔහු විසින් කරනු ලබන උත්ප්‍රාසනීය ප්‍රකාශ සමඟ කිසියම් රංගනයක් ද අපට දැකගත හැකි විය. සැබැවින් ම මැතිවරණ සිතියම හැකිලීමට පමණක් නොව තම අභිමතය පරිදි ක්‍රියා කිරීමට ද ඔහු ධෛර්යය සම්පන්නව සිටියි. එදා ඔහුට එරෙහිවූ සියල්ලෝම අද ඔහු පසසති. පොහොට්ටුවේ මොන පාරම් බෑම් ඇසුනත් ජනාධිපති රනිල්ට අභියෝග කිරීමට පොහොට්ටුවට නොහැකි වී තිබේ. ආන්දෝලනාත්මක තීන්දු තීරණ ගැනීමට පමණක් නොව විරෝධතා නිර්දය ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල්ට කුප්‍රකට කීර්තියක් හිමිව තිබෙන බව ද රහසක් නොවේ. ගාලුමුවදොර විරෝධතාව මැඬලීමට පමණක් නොව එහි ක්‍රියාකාරීන් පසුපස ලුහුබැඳීමටත් නීතිය යොදාගත් ඔහුගේ දේශපාලන භූමිකාව අතිශය විවාදාත්මක එකක් බවට පත්ව තිබේ. එහෙත් ඔහු නොසැලෙයි. පසු නොබසියි. ඔහුගේම සගයන් පවසන පරිදි තනි අලියකු ලෙස ඔහු මේ රට මෙහෙයවන ආකාරය විටෙක විස්මය දනවයි. (අද ඔහුගේ මන්ත්‍රීවරුන් තිදෙනෙකි.)

කෙසේ වුවද ඔහු ඔහුගේම දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව දැන් කටයුතු කරමින් සිටියි. එයට හොඳම නිදසුන 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අලුත් කතිකාවක් ඇති කිරීමට ඔහුට හැකිවීමය. ඇත්ත වශයෙන්ම රටම උණුසුම් කළ ගොවියන්ගේ ජල ප්‍රශ්නය, සුවසේවයෙහි ඔඩුදුවමින් තිබෙන අර්බුද පසෙකට දමා ඔහු 13 වැනි සංශෝධනය වෙනුවෙන් පෙනී සිටියි. ඔහුගේ අභිලාශය නැතහොත් ප්‍රමුඛතාව මෙම 13 වැනි සංශෝධනයෙහි පොලිස් බලතල හැර අනෙක්වා බලාත්මක කිරීම බව පැහැදිලිය. ඒ වෙනුවෙන් නැගෙන විවේචන අවලාද ඔහු පසුබැස්සවීමට තරම් ප්‍රබල ද නැත. ගෝඨාභයගේ ජනවරම ගැන පොහොට්ටුවේ නායකයා වන මහින්ද දුර්මුඛව සිටින බවක් ද පෙනේ. ජනතා වරමින් විධායක පුටුවට පැමිණි කිසිවෙකුට කළ නොහැකි වූ කාර්යයක් සක්‍රීය කිරීමට ජනාධිපති රනිල් පියවර ගනිමින් සිටියි. ඒ පිළිබඳ කෙබඳු විවේචන තිබුණත් දේශපාලන පක්‍ෂවලින් ද ඔහුට සාධනීය ප්‍රතිචාර ලැබී ඇත.

ප්‍රභාකරන් විසින් ලේ ගංගාවක් බවට පත් කරන ලද රටක් ලෙසත්, වර්ගවාදයේ විනාශය අත්දුටු ජනතාවක් වශයෙනුත් ගෙවී ගිය අඳුරු යුගය අප බොහෝ දෙනෙකුගේ මතකය තුළ විවිධ අයුරින් තැන්පත්ව තිබිය හැකිය. එහෙත් ඒ කුරිරු ගැටුම් අවසන් කිරීමෙන් පසුවද වසර 14 ක් ගෙවී ගොස් ඇත. එහෙත් තවමත් ඒ වෛරී දේශපාලනය විසින් උතුර මෙන්ම දකුණ ද ග්‍රහණයට ගනු ලැබ ඇත. උතුරේ ඇතැම් නායකයන්ගේ මනස තුළත් ලේ නහර වලත් ඊළාම්වාදී මළකඩ තිබෙන බව ද අපි දනිමු. දකුණේ ද පැරණි හණමිටි සමඟ දේශපාලනය කරන ස්වල්ප දෙනෙක් සිටිති. එහෙත් බොහෝ දෙනෙකුගේ අදහස එක්සත් භාවයත් ඒකීය රටක් නොමැතිව අපට හෙටක් නැති බවය.

මෙබඳු දේශපාලන උද්යෝගයකින් ආණ්ඩුව විශේෂයෙන් ජනාධිපතිවරයා ක්‍රියා කළත් මේ වන විටත් රටේ වැඩි පිරිසක් මේ පවතින සමාජ ආර්ථික හා දේශපාලනය සම්බන්ධයෙන් කිසිදු ප්‍රසාදයක් නොදක්වන බව ද කිව යුතුය “වෙරිටේ රිසර්ච්’ වැනි ආයතනවල සමීක්‍ෂණවලින් ඒ බව ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් මෙන්ම සමාජය හා ජනතා ප්‍රශ්න දෙස ආණ්ඩුව අසංවේදීව බොහෝ ජන කොටස්වල විවේචනයට හේතු වී ඇත. ගෝඨාභයගේ යුගය අඳුරක් – අවහිර පිරි එකක් වීම නිසා රනිල්ගේ යුගය තුළ යම් යම් වෙනස්කම් තිබුණත් අත්දැකීම්වල කටුක බව සම්බන්ධයෙන් ජනතාව අතෘප්තිමත්ව පසුවෙති. එනිසා දේශපාලන සමාජ ප්‍රශ්නවලට දක්වන අවධානය ජන ජීවිත සුරක්‍ෂිත කිරීමට හා සුපුෂ්පිත කිරීමට ද අත්‍යාවශ්‍ය බව ද අවසන් වශයෙන් පෙන්වා දිය යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment