නාමල්ගේ මුදල් අවභාවිතය : – FCID හිටපු DIG රවීගෙන් ප්‍රකාශ නොගත්තේ ඇයි? – මහේස්ත්‍රාත් CIDයෙන් අසයි

123

විධිමත් විමර්ශනයක් සිදුකර ප්‍රගතිය වාර්තා කරන ලෙසට තම අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබියදීත්, පොලිස් විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතාගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා නොගත්තේ ඇයි දැයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය.

රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ක්‍රිස් ලංකා සමාගමෙන් ලබාදුන් රුපියල් මිලියන 70ක මුදලක් වෙනත් කටයුතු සඳහා යොදවා අවභාවිත කිරීමේ චෝදනා යටතේ නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකළ බවත්, රවි වෛද්‍යාලංකාර මහතා ක්‍රිස් ලංකා සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස පත්වීමෙන් පසුව එම විමර්ශන අඩපණ කොට ඇති බවත් පෙන්වා දෙමින් දූෂණ විරෝධී පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා කර තිබූ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා එලෙස විමසා සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනත් විමර්ශන සම්බන්ධයෙන් ද අනුගමනය කරනුයේ එවැනි පිළිවෙතක් දැයි විමසා සිටි මහෙස්ත්‍රාත්වරයා වහාම රවි වෛද්‍යාලංකාර මහතාගෙන් ප්‍රකාශ සටහන් කොට විමර්ශන සිදුකර විමර්ශනවල ප්‍රගතිය ලබන මස 27 වැනිදා තම අධිකරණයට වාර්තා කරන ලෙසට ද විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

එම නඩුව පෙර දිනයේ කැඳවූ අවස්ථාවේදී වසන්ත සමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, රවි වෛද්‍යාලංකාර මහතා සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විධිමත් විමර්ශන සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කොට තිබිණි. එකී නියෝග අනුව ඊයේ (28 දා) අධිකරණයට එකී විමර්ශන අංශ ලිඛිත කරුණු දැක්වීම් සිදුකර තිබූ නමුත් රවි වෛද්‍යාලංකාර මහතාගෙන් ප්‍රකාශ සටහන් කළේ දැයි මහෙස්ත්‍රාත්වරයා විමසූ පැනයට පිළිතුරු දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මෙතෙක් ප්‍රකාශ සටහන් කර නොමැති බව දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment