දුම්කොළ නිසා වසරක් තුළ මෙරට මරණ 20,000 ක්!

188

නිසි දුම්වැටි බදු ප්‍රතිපත්තියක් සැකසීම තවත් පමා කළ යුතුද?

හෙටට (31) ට යෙදෙන ලෝක දුම්කොළ විරෝධී දිනය නිමිත්තෙනි.

මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක දුම්කොළ විරෝධී දිනයේ තේමාව “අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ” ලෙස නම් කර ඇත. මෙම තේමාව තුළින් වඩා පෝෂ්‍යදායී, තිරසාර, විකල්ප වගාවන් කෙරෙහි ලොව පුරා දුම්කොළ වගාකරුවන්ගේ අවධානය යොමු කිරීමත්, විකල්ප අලෙවිකරණ අවස්ථා කෙරෙහි යොමු වීමට ඔවුන් දිරිගැන්වීමත් ඉලක්ක කෙරේ.

ගැටුම්, දේශගුණික විපර්යාස, ක්‍දඩසා-19 වසංගතය සහ ඉහළ නඟින ආහාර මිල යනාදී කරුණු රැසක් මගින් ඇති කරන ලද ගෝලීය ආහාර අර්බුදයකට මේ වනවිට මුළු ලෝකය ම මුහුණ පා සිටී. ඉතිහාසයේ වාර්තාවන දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදය සමග ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වඩාත් උග්‍ර අතට හැරී තිබේ. මෙම අර්බුදයත් සමග ශීඝ්‍රයෙන් ඉහල යන ආහාර මිල හමුවේ රටේ මහජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති අතර, ලෝක ආහාර වැඩසටහන ඉදිරිපත් කර ඇති දත්ත අනුව, ශ්‍රී ලාංකිකයන්ගෙන් මිලියන 6.3ක් ආහාර අනාරක්ෂිතතාව කෙරෙහි ළඟා වෙමින් පවතී.

මෙම දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ දුම්කොළ භාවිතය හේතුවෙන් අප රටේ ආර්ථික සහ සෞඛ්‍ය සේවය මත පැටවෙන අනිසි බර පැහැදිලිවම අනවශ්‍යයි. නිසැකවම මාරාන්තික නිෂ්පාදනයක් වන දුම්කොළ, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ වසරකට අකල් මරණ 20,000 කට, එසේ නැතහොත් දිනකට මරණ 55කට හේතු වේ. තවද, ශ්‍රී ලාංකිකයන් දිනකට රු. මිලියන 400ක් සිගරැට් සඳහා වියදම් කරන අතර, සිගරැට් භාවිතය නිසා රජය වසරකට දැරිය යුතු ආර්ථික හා සෞඛ්‍ය පිරිවැය රු. මිලියන 84,320 කි. අධ්‍යයන මගින් සොයාගෙන ඇති පරිදි, බහුතරයක් දුම්පානය කරන්නත් අයත් වන්නේ අඩු ආදායම්ලාභී කණ්ඩායමටයි. මේ නිසා, වෙහෙස වී උපයන මුදල් දුම්පානය වෙනුවෙන් නිකරුණේ වැය කිරීම ඔවුන්ගේ පවුල් තවදුරටත් අගාධයට ඇද දැමීමට රුකුල් දෙන අතර, එබඳු පවුල්වල ආහාර අනාරක්ෂිතතාව කෙරෙහි ද හේතු වේ. වර්තමාන තත්ත්වය හමුවේ මහජනයාහට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවන නිසා, ආහාර අර්බුදයෙන් ගොඩ එනු පිණිස දුම්කොළ භාවිතයෙන් නිදහස් වෙමින් එම මුදල් අත්‍යවශ්‍ය පොෂ්‍යදායී ආහාර සපයා ගැනීම සඳහා යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

මෙම කාරණයන්ට අමතරව, දුම්කොළ වගාවට පරිසරයට ද බොහෝ හානිදායක වේ. දුම්කොළ වගාවේ අනිසි ප්‍රතිඵල වන දරුණු පාංශු ඛාදනය, පස නිසරු වීම හා ජල සම්පත ක්ෂය වීම නිසා භූමියේ ඵලදායිතාවය අඩු වන අතර, අධික රසායනික පොහොර භාවිතය සමස්ත පරිසර පද්ධතියට ම අහිතකර බලපෑම් එල්ල කරයි. එම රසායන ද්‍රව්‍ය ගොවීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි ද විශාල තර්ජනයක්ව පවතී. දුම්කොළ මගින් පාංශු පෝෂක ශීඝ්‍රයෙන් අවශෝෂණය කරගන්නා නිසා, සරු පසෙහි පෝෂක ක්ෂය වීමක් සිදුවන අතර, අවසානයේ එම පස වෙනත් අත්‍යවශ්‍ය භෝග වගාව සඳහා නුසුදසු තත්ත්වයට පත් වේ.

2017 වර්ෂයේ දී එවකට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ශ්‍රී ලංකාව 2021 වනවිට දුම්කොළ පාලනය පිළිබඳ සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ :ත්‍ක්‍ඔක්‍* 17 සහ 18 යන වගන්තීන්ට අනුකූලව දුම්කොළ වගාවෙන් ඉවත්වන බවට ජාත්‍යන්තර සමුළුවකදී ප්‍රකාශයක් සිදු කරන ලදී. මෙය දුම්කොළ වගාකරුවන් හට විකල්ප ජීවනෝපායන් කෙරෙහි යොමු වීමට කදිම අවස්ථාවක් වුවද, එම එකඟතාවට පැමිණ අවුරුදු 5කට පසුවත් මෙම තීරණය අදටත් ක්‍රියාත්මක වී නොමැත. පැහැදිලිවම දුම්කොළ කර්මාන්තයෙහි මැදිහත්වීම මේ පසුපස ඇති බලවේගයයි.

දුම්කොළ කර්මාන්තය විසින් නොයෙකුත් ක්‍රමෝපායන් ඔස්සේ ප්‍රතිපත්ති සම්පාදකයින් කරා ළඟා වෙමින් ප්‍රතිපත්ති තීරණ දුර්වල කිරීමටත්, දුම්කොළ වගාව පවත්වාගෙන යමින් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටත් දිගින් දිගට ම කටයුතු කරන බව නොරහසකි. දුම්කොළ කර්මාන්තය ගොවීන්හට ජීවනෝපාය සලසන මාර්ගයක් ලෙස නිරතුරුව ම තමන් පිළිබඳ පුරසාරම් දෙඩුව ද සැබෑ තත්ත්වය කිසිසේත්ම මෙය නොවේ. දුම්කොළ වගාව තිරසාර වගාවක් ලෙස හුවා දැක්වීමට ඔවුන් දරන උත්සාහය ද බොහෝ නිෂ්ඵලය.

එමෙන්ම සිගරැට් භාවිතය සහ ඒ හා බැඳී ඇති හානිය අවම කිරීමට සිගරැට් භාවිතය අවම කිරීමේ පාලන ප්‍රතිපත්ති මේ මොහොතේ අප රටට අත්‍යවශ්‍ය වේ. සුරාබදු ඉහළ දැමීම මගින් සිගරැට් නිෂ්පාදනයන්හි මිල උපරිම මට්ටම දක්වා ඉහළ දැමීම දුම්කොළ පාලනය වෙනුවෙන් ගත හැකි වඩාත්ම ඵලදායී උපායමාර්ගය බව හඳුනාගෙන ඇත. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ දුම්වැටි බදු රටේ උද්ධමනයට අනුකූලව සකස් කෙරෙන විද්‍යාත්මක මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොවේ. ඒ වෙනුවට අප රටෙහි ක්‍රියාත්මක වන්නේ දුම්වැටි බදු ඒවායේ දිගට සාපේක්ෂව තීරණය වන සංකීර්ණ. යල්පැනගිය ක්‍රමවේදයකි.

මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන අනිසි බලවේගයන් හේතුවෙන් රට තුළ විද්‍යාත්මක සහ තාර්කික දුම්වැටි බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම පමා වෙමින් පවතී. මෙම තත්ත්වය හමුවේ පසුගිය වසර 5 තුළ රජයට අහිමිව ගිය දුම්වැටි බදු ආදායම ආසන්න වශයෙන් රු. බිලියන 200 ක් පමණ වේ. ලංකා දුම්කොළ සමාගමේ කොටස්වලින් 84.13% කට අයිතිවාසිකම් කියන බි්‍රතාන්‍යය, ඇමරිකානු දුම්කොළ සමාගම අප රටට අහිමි වූ එම මුදල් ඔවුන්ගේ ලාභය වශයෙන් රැස් කරගෙන ඇත. මෙම තත්ත්වය දුෂ්කර ආර්ථික සංධිස්ථානයක සිටින්නාවූ අප රටෙන් මුදල් විදේශයන්ට ඇද ගනිමින් අප රට තවදුරටත් දරිද්‍රතාව කරා ඇද දමන්නකි.

දුම්වැටි භාවිතය මගින් සිදුවන ආර්ථික, සෞඛ්‍ය හා සමාජීය හානිය අවම කිරීමට රජයේ සුරාබදු ආදායම ඉහළ දැමීමටත්, නිවැරදි මිල සූත්‍රයක් හරහා රට තුළ විද්‍යාත්මක හා තාර්කික දුම්වැටි බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන ලෙස සියලු ප්‍රතිපත්ති සම්පාදකයන්ට මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කර සිටිමු.

තවද, දුම්කොළ වගාවෙන් ඈත්ව එම ගොවීන් වඩා ඵලදායී ජීවනෝපායන් කෙරෙහි යොමු කරවීමට දැරූ මන්දගාමී උත්සාහය ශීඝ්‍ර කිරීමට දැන් කාලය පැමිණ ඇත. ශ්‍රී ලංකාව තුළ දුම්කොළ හානියට තිත තබා, කෘෂිකර්මාන්තය තවදුරටත් දියුණු කරමින්, වඩාත් පෝෂ්‍යදායි තිරසාර වගාවන් කෙරෙහි යොමු වෙමින්, ආනයනික නිෂ්පාදන මත රඳා නොපවතින ස්වයංපෝෂිත හෙටක් වෙනුවෙන් එකාවන්ව නැඟී සිටින මෙන්ම මේ පිළිබඳ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් සහ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

සම්පත් ද සේරම් – විධායක අධ්‍යක්ෂ
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

advertistmentadvertistment
advertistmentadvertistment