දුරකථන කුලුනුවල විදුලි ජනක යන්ත්‍ර සොරාගත් කල්ලියක් අත්අඩංගුවට – වටිනාකම කෝටි 5කට අධිකයි

73

ප්‍රසිද්ධ දුරකථන සමාගම්වල සම්ප්‍රේෂණ කුළුණුවල ඇති, විදුලි ජනක යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු දේපළ සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 4 දෙනකු සොරකම් කරන ලද රුපියල් කෝටියකට වැඩි විදුලි ජනක යන්ත්‍ර 4ක් සහ ඒවා ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් සමග පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.

මෙම සොරකමේ ප්‍රධාන සැකකරු වන, බෝධිය මාවත, පොතානෙගම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයකු සහ අක්කර 20, ශ්‍රමදාන මාවත, ඥානික්කුලම අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විදුලි කාර්මික ශිල්පියකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී, මෙම සොර බඩු ප්‍රවාහනය කළ සහ ඊට අනුබල දුන් සැළලිහිණියාගම, මහකච්චකුඩිය ප්‍රදේශයේ පදිංචි 53 හැවැරදි පුද්ගලයකු සහ හිඟුරු වැව, ආඬියාගල ලිපිනයේ පදිංචි 46 හැවිරිදි රියැදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය.

ගල්නෑව පොලිස් වසමේ නෑගම්පහ සකලසූරියගම ප්‍රදේශයේ දුරකථන සම්ප්‍රේෂණ කුළුණක සවි කර තිබූ රුපියල් ලක්ෂ 9ක් වටිනා විදුලි ජනක යන්ත්‍රයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයක් අනුව මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

පළමු සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සොරකම් කරන ලද 12.5 ණඪක, විදුලි ජනක යන්ත්‍රයක් අනුරාධපුර ඇලයාපත්තුව නිවසක සඟවා තිබියදී සොයා ගත් බවත්, එම මෙම සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ අතහැර දැමූ පාලු වී මෝලක සඟවා තිබියදී 12.5 ණඪක තවත් විදුලි ජනක යන්ත්‍රයක් සොයා ගත් බවද පොලිසිය කියයි.

අනුරාධපුර ඥානික්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදුලි කාර්මික ශිල්පියා සන්තකයේ තිබී එම ධාරිතාවයෙන් යුත් තවත් විදුලි ජනක යන්ත්‍ර 2ක් සොයා ගත් බවත් සොරකම් කරන ලද එම විදුලි ජනක යන්ත්‍ර ප්‍රවාහනය කල ට්‍රක් රථයක්ද වැටලීමේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් විසින් කරන ලද ඇතැම් සොරකම් ප්‍රසිද්ධියේ සිදු කර ඇති බවත්, අදාළ දුරකථන සමාගමේ සේවකයන් බවට හැඟෙන පරිදි, නඩත්තු කටයුතු කරන මුවාවෙන් මේ ඇතැම් සොරකම් සිදු කර ඇති බවද පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි.

සැකරුවන් පසුගිය කාල සීමාව තුළ රුපියල් කෝටි 5 කට වැඩි වෙළෙඳපොළ වටිනාකමකින් යුත් විදුලි ජනක යන්ත්‍ර 12ක් ඇතුළු දේපළ සොරකම් කර ඇති බව සැකකරුවන් සිදු කළ ප්‍රකාශවලදී අනාවරණය වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී (2) ආර්. ඩී. එස්. ධර්මදාස යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත ගල්නෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. රොහාන් මුණසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, එච්. ඩී. නිශ්ශංක, පොලිස් සැරයන්වරුන් වන පියතිස්ස (35930), දිසානායක (55167), අමිල (66354), පො. කො. සේනානායක (83084) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment