විරෝධය දක්වන්න ඔරලෝසු කණුවට නැග්ග පුද්ගලයා වහලය කඩාගෙන බිමට වැටිලා

421

තමන්ට පුද්ගලයකු පහර දුන්නැයි පවසමින් එයට විරෝධය දක්වමින් හලාවත – මාදම්පේ නගරයේ පිහිටි හෝරා ස්ථම්භයට නැග විරෝධයේ නිරතව සිටි අයකු එහි වහලය කඩාගෙන ඇතුළට වැටීමෙන් තුවාල ලබා ඇත. ඔහු කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළ බව මාදම්පේ පොලිසිය පවසයි.

ඊයේ (16 වැනිදා) සවස මෙසේ විරෝධතාවයේ නිරත වූයේ මාදම්පේ මැල්ලවාගාර ප්‍රදේශයේ පදිංචි පොල් කැඩීමේ නිරත කරුපයියා බාබු නමැති 44 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම තැනැත්තාට මාදම්පේ නගරයේ ත්‍රිරෝද රථ ගාලේ සිටි පුද්ගලයකු පෞද්ගලික ආරවුලක් මත පහර දුන්නැයි පවසමින් හෝරා ස්ථම්භයේ වහලයට නැග ඊට විරෝධය දක්වා තිබේ.

ඒ අතරතුර දී ඔහු එකවරම හෝරා ස්ථම්භයේ වහළය කඩාගෙන පහළ කොටසට ඇද වැටී ඇත.

පසුව පොලිස් නිලධාරීන් මැදිහත් වී වැටී තුවාල ලබා සිටි අය මහත් වෙහෙසක් දරා බිමට ගෙන රෝහල්ගත කිරීමට කඩිනමින් කටයුතු කර තිබේ.

මෙම පොල් කඩන්නාට පහර දුන් බව කියන ත්‍රිරෝද රථ රියැදුරුද අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධව මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරිහු පරීක්ෂණ සිදු කරති.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment