බෝනික්කෙකු යැයි කියා ලීයක් ගෙන එහා මෙහා කරද්දී බිළිඳු මළසිරුරක් බව වැටහුණා

1151

ළිඳේ තිබූ මළසිරුර ගැන ගෙහිමියා පොලිසියට කියයි

රීදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙලගෙදර පොලිස් වසමේ ගෙවත්තක ළිඳක් තුළ ඉකුත් 14 දා නාඳුනන බිළිඳියකගේ මළසිරුරක් දුටු නිවැසියකු වෙලගෙදර පොලිසියට දැනුම්දී තිබේ.

නිවැසියා නිවසේ පරිහරණය කරන ජල ටැංකියේ ජලය නොමැති නිසා වතුර මෝටරය ක්‍රියාත්මක කිරීමට පෙර ළිඳ පරීක්‍ෂා කර තිබේ.

එහිදී බෝනික්කෙකු ජලය මත පාවෙනු දැක එය ඉවත්කිරීමට ලීයක් ගෙන එහා මෙහා කිරීමේදී එය බෝනික්කෙකු නොවන බවට හඳුනාගෙන තිබේ. පසුව මිතුරා සමග විදුලි පන්දමක් දල්වා තවදුරටත් පරීක්ෂා කිරීමේදී එය අලුත උපන් ළදරුවකුගේ මළසිරුරක් බව හැඳින වහාම වෙලගෙදර පොලිසියට දැනුම්දී ඇත. වෙලගෙදර පොලිස් ස්ථානාධිපති විසින් එම ස්ථානයට පැමිණ කළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව පිලැස්ස වැඩබලන මහෙස්ත්‍රාත් දැනුවත් කළේය.

මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිඳියගේ මළසිරුර කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවූ අතර දැනට මළසිරුර මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්, නාඳුනන බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (16 දා) සිදු කිරීමට නියමිතව තිබුණි.

වෙලගෙදර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ශාමේන්ද්‍ර මහතාගේ උපදෙස් මත වෙලගෙදර පොලිසියේ නිලධාරීන් විසින් නාඳුනන බිළිඳියගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කිරීමට නියමිතය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment