අයිතීන් දිනා දීමට දිවි පිදූ ඇලන් ටියුරින්

72

දෙවියන්ගෙන් ආශිර්වාද ලැබ සමාජයේ ගැරහුම් ලබන ප්‍රජාවක් 03

ක්‍රිස්තියානි පුනරුදයත්, 15 වන සියවසේ යුරෝපයේ ප්‍රධාන වෙළෙඳ අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මුස්ලිම්වරුන් විසින් අත්පත් කර ගැනීමත් නිසා ආරම්භ වූ යටත්විජිතකරණයට ලොව බොහෝ රටවල් හසුවිය. සියවස් පහකටත් අධික කාලයක් පැවතුණු මෙම යටත් විජිත සමයේ දී ඒ ඒ රටවල්වලට ආවේණික සංස්කෘතීන් යටපත් වීම මෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ මත සමාජගත වීම ද නිතැතින්ම සිදු විය. අධිරාජ්‍යවාදීන් යටත් විජිතකරණයෙන් අපේක්ෂා කළ ප්‍රධාන කාරණා කිහිපයක් තිබුණි. ඒ අතරින් ආගම ප්‍රචාරය කිරීම, අපනයන බෝග වගාව හා වෙළෙඳාම ප්‍රධාන විය.

ලිංගික අනන්‍යතාවය පිළිබඳ වෙනස්කම් සහ සමරිසි සබඳතා තහනමට ලක් කිරීම් ආරම්භ වන්නේ ක්‍රිස්තියානි ධර්මයේ නැඟීමෙන් පසුවය. ඒ ඒ රටවල පෙර තිබූ ආගමික විශ්වාසයන් සමග සම්බන්ධ වූ පිළිවෙත් ප්‍රතික්ෂේප කිරීම මෙන්ම, එය හෙළා දැක කටයුතු කිරීමට පෙළඹෙන්නේ සමරිසි සබඳතා නිසා පමණක් නොවේ. ක්‍රිස්තියානි නොවන දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීම හෝ ආගමික උත්සවවලට සහභාගි වීම වැනි වෙනත් ඕනෑම ආගමික ක්‍රියාකාරකමක් සඳහා සහභාගි වීම මිථ්‍යාදෘෂ්ටික ක්‍රියා ලෙස හැඳින්වීමට ඔවුන් පසුබට වී නැත.

දීර්ඝ කාලයක් තිස්සේ යටත් විජිත වශයෙන් පැවතුණු රටවල අධිරාජ්‍යවාදීන් විසින් අන්තනෝමතිකව සමාජගත කළ අදහස් සාමාන්‍ය ජන සමාජය තුළ මුල් බැස ගත්තේ නොදැනුවත්වම ය. එය LGBT ප්‍රජාව විෂයෙහි ද එලෙසම ය. මෙම ලිපියට පාදක වන LGBT ප්‍රජාව පිළිබඳ අධිරාජ්‍යවාදීන්ට තිබුණේ භීතිකාවකි. අපි ඒ සම්බන්ධව ඇති ලිඛිත සාක්ෂි පිළිබඳ පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කළෙමු.

LGBT ප්‍රජාව පිළිබඳ අධිරාජ්‍යවාදීන් තුළ තිබූ බිය සාමාන්‍ය ජනතාව අතර ද ව්‍යාප්ත වීම තුළින් එම ප්‍රජාවට අකටයුතුකම් බොහොමයකට මුහුණපාන්නට සිදු වූ අතර ඒවා මානසික පීඩාවන්ට පමණක් සීමා නොවී ශාරීරික වද හිංසා කිරීම් සහ ප්‍රසිද්ධියේ ඝාතනය කිරීම් දක්වා විස්තාරණය විය.

නොකළ වරදකට දඬුවම් විඳි ටියුරින්

ඉංග්‍රීසි ජාතික පරිගණක විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙක් වන ඇලන් ටියුරින් (1912 ජුනි 23 – 1954 ජුනි 7) සමරිසියෙක් වූ වරදට එසේ දඬුවම් විඳි පුද්ගලයෙකි. 1952 දී සමරිසි චෝදනා යටතේ ටියුරින්ව අත්අඩංගුවට ගැනිණ. ඒ වන විට එක්සත් රාජධානියේ සමරිසි සබඳතා සම්බන්ධයෙන් තිබූ නීතිමය බාධක ඉවත් කර නොතිබුණි. ඒ සඳහා බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම හෝ රසායනික වන්ධ්‍යාකරණය යන දඬුවම් දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙස නියෝග කරන ලදී. ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවම වෙනුවට රසායනික වන්ධ්‍යාකරණය (chemical castration) සිදුකර ගැනීමට ඔහු එකඟ විය. වසර දෙකකට ආසන්න කාලයක් ඔහු එය ලබා ගත් අතර සිය 42 වැනි උපන්දිනයට දින 16ක් තිබිය දී 1954 වසරේ දී ඔහු සයනයිඩ් විෂ වීමකින් මරණයට පත් විය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එය දිවි නසා ගැනීමක් බව තීරණය කළ නමුත්, පැවති සාධක අනුව එය අත්වැරැද්දකින් සිදු වූවක් ලෙස ද සැලකිය හැකි බව සඳහන් කර තිබේ. මෙවැනි සිදුවීම් එකල සමාජයේ බහුල වශයෙන් සිදු වන විට LGBT ප්‍රජාවේ බහුතරයක් සමාජයෙන් දුරස් වන්නටත්, තමන්ගේ සමාජභාවය සඟවා ගෙන ජීවත් වන්නටත් යොමු විය. එම තත්ත්වයේ අවශේෂයන් වර්තමාන සමාජයේ ද දක්නට ඇත.

LGBT ඉතිහාසය වර්ණවත් කළ ස්ටෝන්වෝල්

කෙසේ නමුත් LGBT ප්‍රජාව වෙත සෙසු සමාජය විසින් එල්ල කරන ලද පීඩනය පුපුරා ගියේ නොසිතූ මොහොතක ය. ඒ 1969 ජූනි 28 වන දින නිව්යෝර්ක් හි ග්‍රීන්විච් ගම්මානයේ ක්‍රිස්ටෝපර් වීදියේ පිහිටි සමරිසි පුද්ගලයන් සඳහා ප්‍රසිද්ධ ස්ටෝන්වෝල් සමාජ ශාලාව වැටලීම සිදු කිරීමෙන් ය. ස්ටෝන්වෝල් මෙන්ම අනෙකුත් සමරිසි ප්‍රජාවන් සඳහා වෙන් වූ හෝ ඔවුන් වැඩි වශයෙන් ගැවසෙන තැබෑරුම්වල පොලිස් වැටලීම් එකල සාමාන්‍ය පුරුද්දක් වී තිබුණි. නීති විරෝධී ලෙස තැබෑරුම් පවත්වාගෙන ගිය පුද්ගලයන් එම ව්‍යාපාර පවත්වාගෙන යෑමට දූෂිත පොලිස් නිලධාරීන්ට නිතිපතා අල්ලස් ලබා දීමට කටයුතු කර ඇත. එකල සමරිසි සබඳතා නීති විරෝධී බැවින් එම යුගයේ සමරිසි පුද්ගලයන් ගැවසුණු සියලුම තැබෑරුම් ගණන් කළ නොහැකි තරම් පොලිස් වැටලීම් වලට ලක් කෙරුණි. නමුත් ජූනි 28 දා පොලිස් නිලධාරීන්’ ස්ටෝන්වෝල් වෙත පැමිණ සමාජ ශාලාවේ සිටි පිරිස අත්අඩංගුවට

ගැනීමට පටන් ගත් විට, ස්ටෝන්වෝල් හි යාවජීව සාමාජිකයන්, අනෙකුත් ගම්වල සමරිසි සහ සමරිසි තැබෑරුම්, සංක්‍රාන්ති ක්‍රියාකාරීන් සහ නිවාස නොමැති LGBT පුද්ගලයන් පැමිණ පොලිසිය හා ආපසු සටන් කළහ. ඔවුන් පොලිස් නිලධාරීන්ට කාසි, බෝතල් සහ ගල් ආදියෙන් පහර දී ඇත. පහර දීම් කෙතරම් ප්‍රබලව සිදු වී ඇත්දැයි කිවහොත් අත්අඩංගුවට ගත් සමරිසි පුද්ගලයන් පිරිස නිදහස් කර ගැනීමටත් පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් පසුබැස්ස වීමටත් තරම් එය හේතු වී තිබේ. සිද්ධියෙන් දින කිහිපයකට පසුවත් මෑන්හැටන් නගරයේ වීදිවල පවා විරෝධතා පැවැත්විණි. දින ගණනාවක් තිස්සේ පැවති හෙයින් මෙම ගැටුම අවසානයේ කැරැල්ලක් ලෙස නම් කෙරුණි. ස්ටෝන්වෝල් කැරැල්ල, LGBTQ+ ප්‍රජාව සුපුරුදු ලෙස සමාජයෙන් වසන් වීම වෙනුවට ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම් ඉල්ලා සිටීමට දිරිමත් කළ ප්‍රධාන සංධිස්ථානයක් විය.

1969 නොවැම්බරයේදී, ස්ටෝන්වෝල් කැරැල්ල ආරම්භ කිරීමට මූලික වූ රොඩ්වෙල් සහ ඔහුගේ සහකරු වන ෆ්‍රෙඩ් සාජන්ට්, එලන් බ්‍රයිඩි හා ලින්ඩා රෝඩ්ස් විසින් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. ඒ සහ ෆිලඩෙල්ෆියා හි පැවති සමරිසි සංවිධාන වල නැගෙනහිර ප්‍රාදේශීය සමුළුවේ දී ය. ප්‍රථම සමරිසි පෙළපාලිය නිව්යෝර්ක් නගරයේ පැවැත්වීමට ඔවුන් එහිදී යෝජනා කර තිබෙන අතර එය සංවිධානය කරන ලද්දේ බ්ලීකර් වීදියේ රොඩ්වෙල්ගේ මහල් නිවාසයේ සිට ය.

ස්ටෝන්වෝල් කෝලාහලයෙන් වසරකට පසුව, එනම් 1970 ජුනි 28 වන දින, LGBT ප්‍රජාව විසින් ඔවුන්ගේ ප්‍රථම සැමරුම් රැලිය පවත්වන ලදී. අභිමානවත් ලෙස සැමරූ එම රැලිය ක්‍රිස්ටෝපර් වීදියෙන් ආරම්භ කර ඇති අතර ඒ සඳහා දහස් ගණන් සමරිසි ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ හිතවාදීන් මැන්හැටන් වීදිවලට රැස් වී ඇත. එය LGBT ප්‍රජාවට ඓතිහාසික අවස්ථාවක් විය. ඔවුන් එතැන් පටන් සෑම වසරකම ජුනි මාසයේ දී මෑන්හැටන් හි සිදුවීම් ආඩම්බරයෙන් සමරනු ලබයි. මෙම වාර්ෂික සැමරුම ආරම්භ වූයේ එක්සත් ජනපදයේ වුවද පසුව එය වෙනත් රටවලට ද ව්‍යාප්ත විය. එහිදී වැඩි වශයෙන් ඉස්මතු කරන්නේ එම ප්‍රජාවට අහිමි වී ඇති අයිතිවාසිකම් පිළිබඳව ය.

LGBT ප්‍රජාවට විවාහ නීතියේ දොරගුළු විවර කළ බියට්‍රික් රැජින

සමරිසි සහකරුවන්ට සමාන විවාහ අයිතිවාසිකම් ලබාදීමේ හැකියාව අධ්‍යයනය කිරීම සඳහා නෙදර්ලන්ත පාර්ලිමේන්තුව 1995 දී කොමිසමක් පිහිටුවන ලදී. වසර හයකට පසු 2001 දී මැසචුසෙට්ස් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගුඩ්රිජ් එදිරිව මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දී සමරිසි ජෝඩුවලට නීත්‍යානුකූලව විවාහ විය හැකි බවට තීන්දු කරන ලදී. එය LGBT ඉතිහාසයේ කීර්තිමත් ජයග්‍රහණයක් විය. නෙදර්ලන්තයේ බියට්‍රික් රැජින සමරිසි විවාහ නීතිගත කිරීමත් සමග සමරිසි විවාහ හඳුන්වා දුන් පළමු රට බවට නෙදර්ලන්තය පත් විය. ක්‍රිස්තියානි පාර්ශ්වයේ දැඩි විරෝධය නොතකා, ලන්දේසි නීතිය යටතේ සමරිසි සහකරුවන් සම්පූර්ණයෙන්ම පිළිගනු ලැබීය. වසර තුනකට පසු, මැසචුසෙට්ස් සමරිසි විවාහ නීතිගත කළ පළමු ප්‍රාන්තය බවට පත් විය. සමරිසි ජෝඩු සඳහා 2004 මැයි 17 දින දී රාජ්‍යය විවාහ බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ අතර, රට පුරා සමරිසි විවාහ නීත්‍යානුකූලව සිදු විය.

එය පූර්වාදර්ශයක් කොටගෙන බටහිර යුරෝපයේ මේ වන විට ඇතැම් රටවල් සමරිසි ජෝඩු සඳහා විවාහ වීමේ අයිතිය ලබා දී ඇත. ලිතුවේනියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, අයිස්ලන්තය, අයර්ලන්ත ජනරජය, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෙදර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ඒ අතර වේ.

යුරෝපය LGBT ප්‍රජාව පිළිබඳ යහපත් මාවතක් කරා එළඹෙන විට ඇමරිකා එක්සත් ජනපදය දැක්වූයේ පසුගාමී පිළිවෙතක් ය. ඇමරිකාවේ සමරිසි විවාහ රට පුරා තහනම් කිරීම සඳහා ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන ලද අතර එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් එය වළක්වාලන ලදී.

නමුත් ගතානුගතික ප්‍රාන්ත දහයක් සහ ඔරිගන් ප්‍රාන්ත මට්ටමින් සමරිසි විවාහ තහනම් කරන ලදී. කැන්සාස් සහ ටෙක්සාස් 2005 දී ද තවත් ප්‍රාන්ත හතක් 2006 දී ද සමරිසි විවාහවලට එරෙහිව ව්‍යවස්ථාමය සංශෝධන සම්මත කළහ.

මියගොස් වසර 55කට පසු නිදොස් වූ ටියුරින්

LGBT ප්‍රජාව ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් යෙදී සිටින්නේ නොනවතින අරගලයක ය. 2009 වසරේ දී අන්තර්ජාලය හරහා ගෙනගිය විරෝධතා ව්‍යාපාරයකින් පසුව බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් 1954 ජූනි මස 7 වන දා මියගිය ඇලන් ටියුරින් සම්බන්ධයෙන් කටයුතු කළ අන්දම පිළිබඳ බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් නිල වශයෙන් මහජනයාගෙන් සමාව ඉල්ලා සිටියේ ය. 2013 දී දෙවැනි එළිසබෙත් මහරැජින ඔහුට මරණයෙන් පසු සමාව ප්‍රදානය කර සිටියා ය. ඒ සමගම සමරිසි පුද්ගලයන් වූවාට අතීතයේදී වරදකරුවන් ලෙස නම් කළ සියලුම දෙනා නිවැරැදි කරුවන් විය. Alan Turing law” යන යෙදුම දැන් භාවිත කරනුයේ සමරිසි ක්‍රියාවන් තහනම් කරන ලද ඓතිහාසික නීති සම්පාදනය යටතේ අවවාද කරන ලද හෝ වරදකරුවන් වූ පිරිමින්ට පූර්වගාමීව සමාව දුන් එක්සත් රාජධානියේ 2017 නීතිය පිළිබඳ සඳහන් කිරීමට ය.

වසර 140ක් පුරා වරදක් නොවූ වරදක්

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365A වගන්තිය බ්‍රිතාන්‍ය ලංකාව තුළ ක්‍රියාත්මක වූ යටත් විජිත දණ්ඩ නීති සංග්‍රහය දක්වා දිව යයි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය 1883 අංක 2 දරන ආඥා පනත හරහා 1883 දී බලාත්මක කරන ලද්දකි. එයින් සමරිසි පුරුෂයන් පමණක් ආවරණය කරන ලද නමුත්, පසුව එය සමරිසි පුද්ගලයන් සියලුම දෙනා ආවරණය වන පරිදි 1995 දී එක් වරක් සංශෝධනය කර ඇත. 2017 නොවැම්බරයේදී එවකට සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රකාශ කළේ සමරිසි ක්‍රියාකාරකම් නිර්සාපරාධීකරණය කිරීමට රජය පියවර ගන්නා බවයි. නමුත් එය අහෝසි කිරීම මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කිරීමට රජය ගත් උත්සාහය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විරෝධය නිසා වැලකුණි. සමරිසි සබඳතා තහනම් කිරීමේ යටත් විජිත යුගයේ නීතිය ඉවත් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ද ඉදිරිපත් කර ඇත. නමුත් තවමත් රට තුළ ක්‍රියාත්මක වන්නේ 1883 සම්පාදනය කළ නීතියය. එක්සත් රාජධානිය මේ වන විට පෙර සිදු වූ වැරදි නිවැරැදි කරගනිමින් සිටිය ද ශ්‍රී ලංකාව තවමත් බ්‍රිතාන්‍ය පාලන සමයේ තනා දුන් නීති රාමුවක් තුළ සිරවී සිටින බව පමණක් සඳහන් කළ යුතු ය.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment