පාසල් උපකරණ සඳහා දමා ඇති සෙස් බද්ද වහා ඉවත් කරන්න – මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල

162

රටේ විදේශ මුදල් එන්නත්වල කොමිස් ගෙවීමට වැයවීමෙන් සංචිත අඩුවුණා – පා.ම. තලතා අතුකෝරළ (සජබ)
බදු අඩුකිරීමෙන් සහ රැකියා දීමෙන් ආර්ථිකයට පහරක් වැදුණා – වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

විවිධ අංශවලට සහන දීමේ අරමුණ ඇතිව පසුගිය සමයේ ගත් දේශපාලන තීන්දු තීරණ තුළින් රටේ ආර්ථිකය කඩාවැටුණු අතරේ විශාල දේශපාලන වන්දියක්ද ගෙවීමට සිදුවූ බව වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට නැවත ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු දීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2023) සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදයේ තුන්වැනි දින විවාදය ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (සජබ) –

රට ගොඩ ගන්න නම් ඕනෑම රටක ආර්ථිකය මෙහෙයවන්න ඕනි පෞද්ගලික අංශයයි. අපේ රටේ සංස්ථා, ජනසතු ව්‍යාපාර සියල්ල අසාර්ථකයි. මොනවද පෞද්ගලික අංශයට දීලා තියෙන සහන? පෞද්ගලික අංශයට කිසිම සහනයක් ලබා දීලා නෑ. අපනයනකරුවන්ට 30% බද්දක් ගහලා. හැම අංශයකම බදු ඉහළ නංවලා. අපනයනකරුවන් විනාශ කරන්නයි මේ හදන්නේ. පෞද්ගලික අංශයේ පඩි ගෙවන්න කොහොමද අදාළ ව්‍යාපාරයෙන් හම්බ කරලා. නමුත් රාජ්‍ය අංශය පඩි ගෙවන්නේ මුදල් අච්චු ගහලා. මේකයි වෙනස. රට ගොඩ ගන්න ඕනේ නම් අපි දෙගොල්ලොම එකතුවෙලා පෞද්ගලික අංශයට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න ඕනි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ගැසට් එකෙන් ආනයනය කරන භාණ්ඩ 630 කට සෙස් බද්ද වැඩි කරලා. මේ බදු වැඩි කිරීම නිසා පාසල් දරුවන්ගේ පාසල් උපකරණ මිල 300%කින් වැඩිවෙලා. රුපියල් 10ට තිබ්බ පැන්සලක් රු. 40 යි. පෑනක් රුපියල් 35යි 40 යි. සීආර් පොතක් රුපියල් 800 යි. පැහැදිලිවම ඉල්ලීමක් කරනවා දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය උපකරණ සඳහා පනවා ඇති සෙස් බද්ද වහාම ඉවත් කරන්න කියලා. ඒ වගේම රෝහල්වල බෙහෙත් නෑ. වෛද්‍ය උපකරණ නෑ. නමුත් ඒ සඳහා විසඳුමක් මේ අය වැය ලේඛනය තුළ නෑ.

එරාන් වික්‍රමරත්න මහතා ඊයේ කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට වත්කම් හෙළි කරන්න ඕනි කියලා. මම ඊට වඩා දෙයක් කියන්න කැමතියි. අපේ වත්කම් ප්‍රකාශ කථානායකතුමාට භාරදීම නෙමෙයි ජනතාවට බලන්න පුළුවන් තැනක ප්‍රදර්ශනය කරමු. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය කිව්වා මන්ත්‍රීවරු සියල්ලටම වත්කම් ප්‍රකාශ එවන්න ප්‍රදර්ශනය කරන්නම් කියලා. නමුත් මන්ත්‍රීවරු පහළොස් දෙනෙක් පමණයි වත්කම් ප්‍රකාශ හෙළි කරලා තිබුණේ. අපි පාර්ලිමේන්තුව තුළින් ආදර්ශයක් ලබා දෙමු. කථානායකතුමා එකඟ නම් පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රදර්ශනය කරමු.

වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා –

අපේ රජයන් රාජ්‍ය සේවය පෝෂණය කළා ආරක්ෂා කළා කියලා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. නමුත් අපි ගත්තු ජනප්‍රිය තීන්දු නිසා අපි දැන් අපහසුතාවයට පත්වී තිබෙනවා. අපි උපාධිධාරීන් පණස්පන්දාහකට රැකියා ලබා දුන්නා. අඩු ආදායම් තිබෙන තවත් 45000 කට රැකියා ලබා දුන්නා. අපි ඒ විදිහට ලක්ෂයකට රැකියා ලබා දීලා අලුත් බරක් දරා ගත්තා. ඒක ආර්ථිකයට ප්‍රබල පහරක් වුණා. අපි වැට් බදු අඩු කළා. ආදායම් බදු අඩු කරලා සහන දුන්නා. නමුත් එයින් ආර්ථිකයට පහරක් වැදුණා. අපිට ඒ අහිමිවීම් රැසක් සමග දේශපාගන වන්දියක් ගෙවන්න වුණා. ඒක අවාසනාවන්ත කාලයක්. අපේ රට හොඳම සංචාරක ගමනාන්තයක් වුණා. නමුත් පාස්කු ප්‍රහාරය නිසා එය බිඳ වැටුණා. කොවිඩ් නිසා අපේ ආර්ථිකය වැටුණා. ඒ වගේම දේශපාලන තීන්දු නිසා අපි අසරණ වුණා. ඒ වගේම ලෝක ප්‍රවණතා නිසා අපේ ආර්ථිකය පසුගාමී වුනා. නමුත් දැන් අපේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා කියා මහබැංකු අධිපති ප්‍රකාශ කළා. අපේ උද්ධමනය වැඩිවුණා. ජනතාව දුකට පත්වුණා. නමුත් දැන් එය යම් තරමකට පාලනය වෙලා. ඉදිරි මාස කිහිපයකදී මේ තත්ත්වය ක්‍රමානුකූලව යහපත් වේවි.

පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක (සජබ) – නිදහසෙන් පස්සේ භයානක කාලයක මේ අයවැය ඉදිරිපත් කළේ. දරිද්‍රතාවය වතු ආශ්‍රිතව බහුලයි. උද්දමන තත්ත්වය ඉහළයි. අපි ඉන්නේ පහළ ආදායම් තත්ත්වයක. අයවැයෙහි ඉලක්කයක් නෑ. බිඳවැටී තිබෙන ආර්ථිකය නංවන්න කිසිදු යෝජනාවක් නෑ.

සතියකට ජීවත් වීමට හැකි විදේශ සංචිත රටේ නෑ. ජීවන වියදම පාලනයට ආදායම් වියදම් පාලනයක් අයවැයේ නෑ. නාස්තිය, දූෂණය, හොරකම පිටුදැකීමට කිසිවක් යෝජනා මේ අයවැයේ නෑ. ඉලක්කගත වැඩපිළිවෙළක් අයවැයෙහි නෑ. රුපියල ස්ථාවර වීම ගැන අගමැති කිව්වත් එවැනි තත්ත්වයට කිසිම යෝජනාවක් අයවැයේ නෑ. සියයට 3.8 ආර්ථික වර්ධනයක් තියෙන බව කිව්වත් කිසිම වැඩපිළිවෙළක් නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ (ශ්‍රීලපොපෙ) – පොල් ඉඩම් කැබලි කිරීම වැඩි වුණා. රබර් ඉඩම් කැබලි වුණා. ඒවා වලක්වන්න ක්‍රියාකළේ නෑ. සාම්ප්‍රදායික ආදායම් මාර්ග අඩු වුණා. අක්කරයක් තේ, රබර්, පොල් ගලවනවා නම් ඊට එරෙහිව නීති හැදිය යුතුයි. අද රබර් කිරිවල මිල බැහැලා. ප්‍රති අපනයනය නිසයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. කුළුබඩු නිෂ්පාදනය හා අලෙවියට විවිධ බාධා ඇතිවෙලා. ඒවාට අලුත් තාක්‍ෂණය නෑ. සාම්ප්‍රදායික ක්‍රමවලටමයි නිෂ්පාදනයන් වන්නේ. ඵලදාව වැඩිකර ගන්න ක්‍රමවේද හඳුන්වා දෙන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි තලතා අතුකෝරල (සජබ) – එදා මංගල සමරවීර මුදල් ඇමැති ලෙස කිව්වා මුදල් කළමනාකරණය නොකළොත් 2022 දී රට බංකොලොත් වන බවට. අද අපි ඒ තත්ත්වයට මුහුණ දීලා. තෙල් මිල සූත්‍රයට හා එතුමා ගෙන ආ යෝජනාවලට එදා විපක්‍ෂය හිනා වුණා.

රට විනාශයට හේතු වුණේ ගෝඨාභය රාජපක්‍ෂ පාලනයයි. සීනි බදු වංචාව හා එදා තිබූ බදු කපාහැරීම කළේ ඔහුයි. මහ බැංකු අධිපති කබ්රාල් මූල්‍ය ප්‍රගතිය ගැන කිව්වා. පී. බී. ජයසුන්දර යන සියලුදෙනා නිසා රට විනාශයට ගියා. රටේ විදේශ සංචිතවලින් විශාල ප්‍රමාණයක් එන්නත්වල කොමිස් සඳහා ගෙවීමට සිදුවූ නිසා සංචිත අඩු වුණා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්ගොඩි – අද බීඩිවලට බද්දක් දාලා. ගංජාවලට අලුත් නමක් දාලා අවසර දෙන්න උත්සාහ කරනවා. ඒත් සිගරැට්වලට බදු පනවා නෑ. බීඩිවලට බද්දක් දැම්මහම සිගරැට්වලට ජනතාව පෙළඹෙනවා. ඒ අනුව සිගරැට් වෙනුවෙන් පෙනී සිටින අයකු ලෙස ජනපති පෙනී ඉන්නවා.

බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමැති ලෙස අයවැයේදී කිව්වා බැඳුම්කර වංචාවේ රුපියල් බිලියන 8ක් අයකර ගන්නවා කියලා. එහෙත් මේ අයවැයේ ඒ ගැන වචනයක් වත් කතා කළේ නෑ.

රාජ්‍ය ඇමැති ශෂීන්‍ද්‍ර රාජපක්‍ෂ මහතා – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් හැදීමට තීරණය කිරීම ගැන ස්තුති කරනවා.

මේ අයවැය හොඳම එකක් කියනවා නොවෙයි. නිදහසින් පසු අර්බුදකාරී වාතාවරණය යටතේ ඉදිරිපත් වූ හොඳ අයවැයක්.

ගමේ සංවර්ධන කටයුතුවලට ගමෙන්ම පිරිස් හා සැලසුම් ඉදිරිපත් කළ යුතුයි. ගමේ අඩුපාඩු දන්නේ ඔවුන් විතරයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා (ශ්‍රී.පො.පෙ.) – ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගනුදෙනු කරද්දී අපි සැලකිලිමත් ලෙස එය කළ යුතුයි. අපේ භෞමික ආරක්‍ෂාව රැකුණහොත් තමයි ඉන්දියාවේ භෞමික ආරක්‍ෂාව

රැකෙන්නේ. ඉන්දියාව අපේ ලොකු අයියා කියලා කිව්වත් ඇත්තටම දැන් එහෙම නොවෙයි. අප එකිනෙකා එක සමාන තත්ත්වයකයි සිටින්නේ. ඒ නිසා මේ පිළිබඳ විශේෂයෙන් කටයුතු කරන්න කියලා මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා.

පත්කළ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය (ජා.ජ.බ.) – අපි මේ අයවැය සාකච්ඡා කරන්නේ ඉතාම බැරෑරුම් අවස්ථාවකයි. රටේ සියලුම දේශපාලනඥයන් දෙස ඉතා පිළිකුලෙන් කතා කරන මොහොතක් තමයි මේක. මේ සුවිශේෂී තත්ත්වයට මොන වගේ විසඳුම් දෙයිද කියලා ජනතාව බලා හිටියා. නමුත් මේ ප්‍රශ්නය ගැන තේරුම් ගත්තේ නෑ. මොනවාද ලබාදෙන විසඳුම් කියලත් කිසිම අවබෝධයක් තැකීමක් නැතුවයි මේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ.

පාර්ලිමේන්තුව අද (18දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment