ශ්‍රී ලංකන් ගුවන් සේවය (බිමට කඩාවැටීමට පෙර….)

1156

 ලංකාවේ ජාතික ගුවන් සේවය වූ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනයේ ප්‍රශ්න කන්ද ඉතාම වේගයෙන් උස් වෙන්නට පටන්ගෙන තිබේ. භූගෝල විද්‍යාවට අනුව හැම කන්දක්ම උස යයි. එයට හේතුව පෘථිවියේ තිබෙන භූ තැටිවල හටගන්නා චලනය නිසා ඇතිවන පීඩනය වේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කන්ද උස යන්නේ කිසිදු චලනයකින් හා පීඩනයකින් තොරව නිකන්ම නිකම් බව ඒ ගැන කල්පනාවෙන් සිටින කෙනකුට පෙනේ. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිටුපස ඇති කතාව ඉතා භයානක සහ දරුණු අවසානයක් කරා ළඟා වෙමින් ඇති අතර නුදුරු දිනක මේ ගුවන්යානා සමාගම කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව මහපොළවටම කඩා වැටෙනවා ඇත. අප මෙයින් අදහස් කරන්නේ අහසේ යන ශ්‍රී ලංකන් ප්ලේන් බිමට කඩාවැටෙන බවක් නොවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ධන පරිහානියට පත්වී බිමට කඩාවැටීමය. මේ ආයතනයේ දැනට සිටින ලොක්කන් පලවාහැර එය සුදුසු පුද්ගලයන් අතට පත්කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව සතුව නැත. එබැවින් කිසියම් දවසක මේ ආයතනය වැසී ගිය පසු එහි සේවය කරන 5440 ක් වූ කාර්ය මණ්ඩලය අනාථභාවයට ගොදුරු වීමට නියමිතය.

බැලූ බැල්මට ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අතර වෙනසක් නැත. බස් වලට රෝද හතරක් ඇති අතර ගුවන්යානයකට රෝද තුනක් තිබීම ප්‍රමුඛ වෙනසක් ලෙස ගත හැකි නම් මේ ආයතන දෙක අතර ඇති එකම වෙනස්කම එකී රෝද ගණන බව කෙනකුට සිතෙන්නට පුළුවන. මෙයට කලකට පෙර ලංකා ගමනා ගමන මණ්ඩලය සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ පරිදි එම ආයතනයට අයත් සෑම බස් එකකටම 12 ක් පමණ වූ කාර්ය මණ්ඩලයක් සිටින බව හෙළිදරව් විය. බස් රියකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ ඩ්‍රයිවර් සහ කොන්දොස්තර පමණි. ඊට අමතරව එහි නඩත්තු කටයුතු සඳහා තවත් පුද්ගලයන් දෙදෙනකු යෙදවිය හැකිය. මේ අනුව එක බස් රියක් පුද්ගලයන් හතර දෙනකුගෙන් run කළ හැකිය. ඒ වෙනුවට පුද්ගලයන් 12 ක් එක බස් රියකට සිටිනවා කියන්නේ 8 දෙනකුට නිකරුනේ පඩි දීමට සිදුවීමය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා 23 ක් තිබේ. මේ සෑම ගුවන්යානයකටම සේවකයන් 236 බැගින් ඇත. අපට හැඟෙන පරිදි විශාලම ගුවන්යානයක් වුව විසිදෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් නඩත්තු කළ හැකි වේ. ඊට අමතරව එක ගුවන්යානයක ground handling හෙවත් භූමියේ කරන ක්‍රියාකාරකම් සඳහා තවත් 15 ක් පමණ ප්‍රමාණවත්ය. ඊටත් අමතරව යානයේ නඩත්තු කටයුතු උදෙසා එක යානයකට ඉංජිනේරුවන් සහ කාර්මිකයන් 25 ක් පමණ අනුයුක්ත කළ හැකිය. අවසානයේදී එක ගුවන්යානයක් සේවකයන් 50 ට ටිකක් අඩු හෝ ටිකක් වැඩි ප්‍රමාණයකින් නඩත්තු කළ හැකි බව සරල අංක ගණිතයට අනුව හඳුනාගත හැකිය. එසේ තිබියදී එක ගුවන්යානයකට 236 ක කාර්ය මණ්ඩලයක් සිටීමෙන් අපට හැඟී යන්නේ ආයතනය සෑම ගුවන්යානයකින්ම අමතර 150 දෙනකුට නිකරුනේ වැටුප් ගෙවන බවය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවක අඩු පාඩුවක් තිබෙන බව පසුගියදා අපට දැන ගන්නට ලැබිණ. එය ඇත්තකි. මේ ගුවන් සේවයට අයත් ගුවන් නියමුවන් ඉතා වේගයෙන් අස්ව යමින් සිටින අතර ඔවුහු වෙනත් ගුවන් සේවාවන්වලට බැඳෙමින් වැඩි මුදලක් උපයති. එයාර් ලංකා ගුවන් සේවය ආරම්භයේදී එහි සේවය ප්‍රශස්ත මට්ටමක පැවතින. එතෙක් පැවති එයාර් සිලෝන් ගුවන් සමාගම අවලංගු කර එයාර් ලංකා යනුවෙන් එයට අලුත් නමක් තැබූ ජේ. ආර්. ජයවර්ධන එහි ප්‍රධානියා ලෙස සිය කිට්ටු ඥාතියකු වූ කපිතාන් රඛිත වික්‍රමනායක පත් කළේය. ගුවන්යානා පැදවීමෙහි මනා පළපුරුද්දක් තිබුණු නමුත් රඛිත ගැන සැක පහළ කළ සිංගප්පූරුවේ හිටපු අගමැති සුප්පයියා ධනබාලන් ගුවන් නියමුවකු ගුවන් සමාගමක් පාලනය කරන්නේ කෙසේ දැයි ප්‍රසිද්ධියේ විමසුවේය. එහෙත් රඛිත වික්‍රමනායක එයාර් ලංකා ගුවන් සමාගම ආසියාවේ හොඳම ගුවන් සේවයක් බවට පත් කිරීම සඳහා වැඩ කරන්නට පටන් ගත්තේය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති බවට පත්වූ පසු එයාර් ලංකා ගුවන් සමාගමේ අයිතියෙන් කොටසක් එමිරේට්ස් ගුවන් සමාගමට විකුණන ලද අතර එම ගුවන් සමාගමේ නම ශ්‍රී ලංකන් යනුවෙන් re brand කරන ලදී. එසමයේදී ද ගුවන් සමාගම හොඳ මට්ටමක පැවතියේය. පසුව රාජපක්ෂ ආණ්ඩුව එම සමාගම සමග ඇතිකරගත් පුද්ගලික ආරවුලක් නිසා එමිරේට්ස් සමාගම සතුව තිබූ කොටස් තොගය ආපසු පවරා ගත්තේය. එය පවරා ගැනීමක් නොව පැහැර ගැනීමකි. මේ නිසා ගුවන් සමාගම ක්‍රමයෙන් වැටෙන්නට පටන් ගත් අතර අද වන විට ලංකාවේ විශාලතම ණය ගැතියන්ගෙන් කෙනකු බවට පත්ව ඇත. අප මුලින් කී පරිදි මේ ණය කන්ද දිනෙන් දින උස යයි.

එයාර් ලංකා ගුවන් සමාගමේ සේවකයෝ පෙරේදා උදේ පැය දෙකක් වැඩ වැරූහ. එයට ප්‍රධානතම හේතුව ගුවන්යානා ප්‍රමාදය නිසා මගීන් ගුවන්තොටුපළේ කවුන්ටරවල සිටින ශ්‍රී ලංකන් සේවකයන්ට බැන වැදීමය. ඔවුන් බැනුම් ඇසුවේ ඔවුන්ගේ වරද නිසා නොව කොම්පැනියේ මහ එකාලාගේ වරද නිසාය. මෑතක පටන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉතාම අනතුරුදායක තැනකට පත්ව තිබේ. මෙහි තිබෙන ඇතැම් ගුවන්යානා ගුවන් ගත කර ස්වල්ප වේලාවකින් පොළොවට බැස්සවීමට සිදුවේ. ශ්‍රී ලංකන් ගුවන්යානා ඇතුළත ඉතාම අපිරිසිදුය. ඒවායේ අසුන්වලට යොදා ඇති fabric කවර විෂබීජාගාර බවට පත්ව තිබේ. ගුවන් යානයක් යනු විෂබීජ පුරයකි. මිනිසුන් විශාල පිරිසක් එක තැන රැඳී සිටින බැවින්ද දිගු වේලාවක් ගමනේ යෙදෙන බැවින්ද ගුවන්යානාවක ඇතුළත ඉතාම අපිරිසිදුය. මේ සියලු කරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ප්‍රවේශ පත්‍ර බෙහෙවින් මිල අධිකය. හැබැයි කොපමණ සල්ලි ලැබුණත් මෙහි ණය අඩුවන්නේ නැත. ශ්‍රී ලංකන් විකිණීම සඳහා ආණ්ඩුව තුළ උනන්දුවක් තිබුණත් කිසිවකු එය මිලට ගැනීමට කැමතිද නැත. මේ නිසා මේ ආයතනයේ අවසානය ඉතා නරක් විය හැකි බව අපි පුරෝකතනය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment