පියා තිරිසනෙක් නම් පුතා ඊට උත්තර දීම නොවැළැක්විය හැකිය

886

නාරාහේන්පිට පැත්තේ පාසලක ගුරුවරියක විසින් ඉර අව්වේ දණගස්වා තිබූ පිරිමි ළමුන් කිහිප දෙනකුගේ ඡායාරූපයක් පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. ළමයින්ට ශාරීරික හිංසා කිරීම ගැන අප කොහොමටත් විරුද්ධය. එබැවින් මේ පිරිමි ළමයින් කිහිප දෙනා ගිනි අව්වේ පාසල් වත්තේ දණගස්වා තැබීම ගැන අපගේ විරෝධය පළකරමු. එහෙත් අපගේ ආදරණීය පාසල් දරුවෝ ද ඇතැම් විට ගුරුවරුන්ට දරාගැනීමට නොහැකි තරමට මැරෑටියන් බවට පත්වෙති. පාසල් පංති කාමරයක සිටින්නේ එක ගුරුවරියක හෝ ගුරුවරයකු පමණි. ඔහු හෝ ඇය විසින් ඇතැම් විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45ක් පමණ ආම්බාන් කළ යුතුය. ළමයින්ට වේවැල් පහර දීම අප අනුමත නොකරන නමුත් එකෙකුට දෙන්නෙකුට ගුටියක් නොදී පංතියක් මේච්චල් කරගැනීමට නොහැක. එසේ වුවද ඇතැම් ගුරුවරු ළමයින්ට සිහි නැතිවී ඇදවැටෙන තරමට පහර දෙති. මේවා නොකටයුතු වනචාරී ක්‍රියාවන්ය. ගුරුවරයාට හෝ ගුරුවරියට වාත නොවී වැඩක් බලාගෙන සිටින්නැයි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොපමණ කීවද ළමෝ එය නොතකති. ඩෙස් පුටුවලට ගසමින් සින්දු කියති. එවිට ඇතැම් තරුණ ගුරුවරියෝ එම පීඩනය දරාගැනීමට නොහැකිව හඬා වැටෙති. කෙසේ වුවද ඉහත සඳහන් පිංතූරය සමාජ මාධ්‍යගත වීමෙන් පසු ළමයින් දණගැස්වීමට විරෝධය පළකරමින් ගුරු සංගම් ප්‍රධානී ජෝසප් ස්ටාලින් ද නිවේදනයක් නිකුත් කර තිබිණි. ගුරුවරයා සහ ළමයා අතර අප්‍රමාණ බැඳීමක් පවතී. එසේ නම් මෙම පාර්ශ්ව දෙක අතර අප්‍රමාණ විරසකයක් ද පවතී. නාරාහේන්පිට පාසලේ ගුරුවරිය සිසුන් තිදෙනකු පාසල් වත්තේ දණගැස්සවීම ඒ බැඳීමේ සහ විරසකයේ ප්‍රතිඵලයකි. කෙසේ වුවද ගුරුවරියගේ අණට අවනත වෙමින් පිරිමි ළමයින් කිහිප දෙනා පාසල් වත්තේ දණගැසීමෙන් පෙනී යන්නේ පන්ති කාමරයේ බලය තාමත් ගුරුවරයාට පවතින බවය. මෙය හොඳ තත්ත්වයකි. විශ්වවිද්‍යාලවල බලය ආචාර්යවරුන්ට නැත. එය ඇත්තේ පෙරටුගාමී සංවිධානයට ය. ඒ අතින් බලන විට පාසල් වත්තේ දණගසා සිටින ළමයින්ගේ පිංතූරය තවමත් ඉතිරිවී ඇති සුබදායක තත්ත්වයක් ගැන අපට කිසියම් පණිවිඩයක් ලබා දෙයි.

මේ අතර හිසට සහ දෙපාවලට සිය පියා විසින් වේවැලකින් පහරදීමෙන් තුවාල ලැබූ 13 හැවිරිදි දරුවකු මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ. දරුවා පාසල නිමවී පැමිණි වහාම ගෙවත්ත ආසන්නයේ පිහිටි කැලෑවක් එළිපෙහෙළි කරන ලෙස පියා විසින් අණකර ඇති අතර දරුවා එම අණ නොතැකීම නිසා පහරදීමට ලක්වී ඇත. පියා විසින් මේ පහරදීම කර ඇත්තේ පොලිසියෙන් ගසනවා වගේය. පොලිසිය රෑට අල්ලා ගෙනියන සැකකරුවන්ට එළිවනතුරු පහර දෙයි. ඒ වනචාරී පියා ද දරුවාගේ හිසට සහ දෙපාවලට දිගින් දිගටම පහර දුන් බවත් එය වැළැක්වීමට ගිය මවට ද වේවැල් පහර දී ඇති බවත් දැනගන්නට තිබේ. ඊට කලින් ද මේ සිද්ධිය මේ ආකාරයටම පුනරුච්චාරණය වී ඇති බව මව පොලිසිය වෙත පැමිණිලි කර ඇත. අපගේ වැටහීමට අනුව මේ පියා ස්ථිර වශයෙන්ම පරපීඩා කාමුකයෙකි. මෙවැනි කුණු වැඩක් කළ පළමු අවස්ථාවේදීම දරුවාගේ මව එයට එරෙහි වී පොලිසි යෑම කළ යුතුව තිබිණ. එහෙත් එබන්දක් සිදු නොවූ නිසා දිගින් දිගටම චූන් එකට පැමිණි මේ කාලකණ්ණියා දරුවාගෙන් පළිගෙන ඇත. පියා විසින් දරුවාට පහර දී ඇත්තේ එම දරුවා 13 හැවිරිදි බාලයකු නිසාය. යම් හෙයකින් මේ දරුවාට අවුරුදු 20ක් පමණ වූයේ නම් පියාට සිදුවන්නේ හොම්බෙන් යෑමට ය. සිය නැගණිය දූෂණය කිරීමට තැත් කළ පියා මරා දැමූ පුතකු ගැන පසුගියදා අපට දැනගන්නට ලැබිණ. එසේම බීමතින් පැමිණ මවට අඩන්තේට්ටම් කිරීමට යෑමෙන් මැරුම් කෑ පියවරු බොහෝ දෙනෙක් මේ රටේ සුසාන භූමිවල අඩි 6ක් යට මහ පොළොවේ දිරාපත්වෙමින් සිටිති. පුතා විසින් පියා ඝාතනය කිරීම යනු ආනන්තර්ය පාපකර්මවලින් එකක් වන අතර ඉතා පිළිකුල් සහගත ක්‍රියාවකි. මේ ක්‍රියාවට මඟ පාදන්නේ ද පියවරුන්මය. දෛනිකව උපයන සියලු ආදායමෙන් කසිප්පු ගසා වැනි වැනී ගෙදර ඇවිත් බිරිඳට සහ දරුවන්ට නෙළන කාලකණ්ණියෝ ඕනෑවටත් වඩා මේ රටේ සිටිති. මේ අය පිළිබඳ පැමිණිල්ලක් ලැබුණු වහාම පොලිසිය තරයේ ක්‍රියාකළ යුතු බව අපගේ හැඟීම වේ. එවැනි පියවරු සමාජයේ නිදහසේ හැසිරීමට සුදුසු අය නොවෙති. ඔව්හු සිරගෙවල්වල ලග්ගවා බත් ගිල්ල නොවියයුතු අය වෙති. එනම් ඔව්හු ජීවත්වීම සඳහා සුදුසු නැත්තාහ. එවැනි අය දූදරුවන් අතින් මැරුම් කෑමට ලක්වන්නේ මේ නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment