සැහැල්ලු දුම්රිය නැවතීමෙන් මිලියන 10677 ක පාඩුවක්

275

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යෘපෘතිය නවතා දැමීම හේතුවෙන් මෙකී ව්‍යාපෘතියට ඒ වනවිට වැයකොට තිබූ රුපියල් මිලියන 10677 ක මුදලක් අපතේ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ජපන්, ජාත්‍යන්තර සහයෝගිතා, නියෝජිතායතනය සමග එළඹ තිබූ ණය ගිවිසුමකට අනුව මෙකී ව්‍යාපෘතිය ආරම්භකර තිබුණි. මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් ජයිකා JICA සහ OCGJV‍ යන ආයතනවලට වන්දි ගෙවීම සම්බන්ධව 2022 ජුනි මස 28 වැනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කොට තිබිණි. එකල පැවැති මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබූ අතර ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 4381 කි. ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණය මුදල රුපියල් මිලියන 4,886 කි. එමෙන්ම මෙකී ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය ඉක්මවා රුපියල් මිලියන 6,296 ක මුදලක් වැයකොට තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර තිබිණි.

මෙම ව්‍යාපෘතියේ ණය කාලසීමාව වසර 12 ක සහන කාලයක් ද ඇතුළත්ව වසර 40 ක් වූ අතර කොටස් දෙකකින් ණය ගෙවීමට ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය එකඟවී තිබිණි. මාස හයකට වරක් පොලි වටිනාකම ද අදාළ ණය මුදලට එකතු කර තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මෙකී ව්‍යාපෘතියේ උපදේශන ගාස්තු ලෙස රුපියල් හාරසිය අනුහතර කෝටි, එක්ලක්‍ෂ හැත්තෑහතර දහස් තුන්සිය විසිඑකක මුදලක් වැයකොට තිබුණි. සේවක පඩිනඩි වශයෙන් වැය කර ඇති මුදල් රුපියල් දහනම කෝටි, හැටහත් ලක්‍ෂ තුන්දහස් දෙසිය අනුඑකකි. මෙකී ව්‍යාපෘතිය නතර කිරීමට 2022, අගෝස්තු මස 15 වැනිදා රජය විසින් තීන්දු කර තිබුණි. මෙරට සැහැල්ලු දුම්රිය මාර්ග සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස මාළබේ සිට කොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණි. ව්‍යාපෘතිය 2019 වර්ෂයේ ආරම්භ කර 2026 වර්ෂයේ දී අවසන් කිරීමට නියමිතව තිබිණි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment