නොකර පව්කම් කරමු පිංකම්
පසුගිය සතියේ ඉතිරි කොටස

105
  1. පරුෂ වචන කීම,

පෙර මහණෙක් සඟ ගණහට බැන නපුරු
නිරයේ වැටී බිම සත්ගව් වැඩෙන තුරු
ගොරදුක් විඳී තව පේතව සිට කුරිරු
පරහට එයින් නොකියවු බස් නොපිය කරු

එක් ස්වාමීන් වහන්සේ නමක් මහා සංඝරත්නයට පරුෂ වචනයෙන් බැණ වැදුණේය. අපායට වැටුණු ඔහුට බිම් සත් ගව්වක් වැඩෙන තෙක් අපා දුක් ලැබුණේය. නැවත ප්‍රේත අපායෙහි ඉපදුන ඔහු තවමත් දරුණු දුක් විඳින්නේය.

  1. හිස් වචන කීම

කීවොත් වැඩක් නැති බස් බොරු නිරා ගැබේ
මහත් කුරිරු දුක් විඳ යළි අවොත් මොබේ
කීවත් සැබෑ නොගනිති ඔහුගෙ බස් සබේ
ගෙවත් සතර දුක් මෙම නොකියතොත් සැබේ

වැඩකට නැති දෙතිස් කථාවෙහි යෙදෙන අය අපායේ උපත ලබා අපමණ කෲර දරුණු දුක් ලබන්නේය. මනුලොව උපන්නත් ඔහුගේ වචන කිසිවකු පිළි නොගන්නේය. හිස් අසත්‍ය වචන නොකියන අයට සසර දුක් කෙළවර කළ හැකි වන්නේය.

  1. දැඩි ලෝභය

අන්සතු දෙයක් වේවයි සිතුව තමහට
ඉන් දුගතියෙහි දුක් විඳ අව මේ ලොවට
උන් සිතුවා සිදු නොම වෙයි සිතු ලෙසට
මින් මතු සිතක් නොසිතව් එවැනි පවකට

අනුන්ට අයත් වූ දෙයක් තමන්ට අයත් වේවයි සිතා දැඩි ලෝභ සිතින් පව්කම් කළහොත් දුගතියෙහි උපත ලැබෙන්නේය. මිනිස් ලොව උපත ලද්දේ නම් තමා කැමැති දේ පරිද්දෙන් සිදු නොවන්නේය. නොලැබෙන්නේය.

  1. තරහව

බෝවා දහස් පැසවන නිරය වෙන වෙන
වෑපාදනම් රුදු වන බව නපුරු වන
ආබාද දුක් සිදුවන උපනුපන් තැන
වෑපාද යක් නොසිතව් දැන දැන සිතින

තරහව, කේන්තිය නිසා විවිධ විවිධ අපාය ලෝකවල බොහෝ කල් පැසවන දුක් විඳින්නට සිදු වේ. උපනුපන් තැන්වල දරුණු රෝගාදී ආබාධ දුක් ඇතිවන්නේය. ව්‍යාපාදය නම් නොසිතිය යුතුම අකුසලයකි.

  1. වැරදි විශ්වාසය හෙවත් මිත්‍යාදෘෂඨිය

කලක් නිරා දුක් විඳ විටෙක ගොඩ දුටු
නොයෙක් රෝග අටගෙන ගතවෙයි අරිටු
උදත් නුවණ නැතිවේ සිත වෙයි කිලුටු
මෙවක් පටන් පව් නොම කරනු මිසදිටු

මිත්‍යාදෘෂ්ටි ගතවුවොත් නරකය ආදී අපා ලෝකවල දුක් විඳ මේ මිනිස් ලොව උපන් කාලයෙහිද විවිධ රෝගාබාධ ඇතිවී ශරීරය අවලස්සන වෙයි. අඥානව කිලිටි සිත් ඇතිව උපදින්නේය.

අපායගාමී වන දස අකුසල් කරන්නාට බුදු දහමේ ඵල ලැබීමට හැකියාවක් නැත. ඔහුගේ සිත ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා, මෙම අකුසල මූලයන්ගෙන් දූෂණය වී තිබේ. මේ ධර්මයෝ අකුසල මූලයෝය. අකුසල් මුල් තුනෙන් යුතු නොවූ අකුසලයක් නොමැත. එක් අකුසල් සිතක ඒ තුනම දක්නට නොලැබේ. සමහර අකුසල් සිතකට එක් මූලයක් විය හැකිය. සමහර අකුසල් සිතකට දෙකක් විය හැකිය.

ලෝභය යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු පිළිබඳව ඇලුම් කරන ස්වභාවයයි. යම් පුද්ගලයින් යම් වස්තූන් යම් ගුණයෙන් හා ක්‍රියාවන්ද නුරුස්නා ස්වභාවය, විරුද්ධ ස්වභාවය ද්වේශය නම් අකුසල මූලයයි. ඒ ඒ කරුණු හා වස්තූන්ගේ ඇති සැටිය වරදවා ගන්නා ස්වභාවය මෝහය නම් වේ. දස අකුසල් දුරුකොට කුසල්ම වඩන්නට සිත් යොමු කරමු.

අසතොත් නිබොරුවැ මුනිඳු තෙපුල්මය
හරිතොත් නොතබා දස අකුසල්මය
රකිතොත් සිත පිරිසිදු කොට සිල්මය
දනිතොත් මෙසියල්ලටම මෙකල්මය

advertistmentadvertistment
advertistmentadvertistment