අඩු ඒකක පාරිභෝජනයට සහන දෙමින් විදුලිය වැඩියෙන් භාවිත කරන අයගෙන්  සම්පූර්ණ පිරිවැය පියවා ගන්නවා

284

ඇමැති කංචන විජේසේකර

පසුගිය කාලයේ ගත්ත වැරදි තීන්දු නිසා කර්මාන්ත හිමියන් කබලෙන් ළිපට වැටෙනවා  – මුජිබර් රහුමාන් (සජබ)

විදුලි බිල අර්බුදයක් වුණේ  එක් එක් කාලයට  ගත් වැරදි තීන්දු නිසයි – විජිත හේරත් (ජාජබ)

අයි. එම්. එෆ්. කොන්දේසි  අපි මීට පෙර කරන්න තිබූ දේවල්  – ඇමැති අලි සබ්රි

අර්බුදයට මුල් වුණු දේශපාලනඥයින් වගේම නිලධාරීන් මේවාට වග කියන්න ඕනා – කබීර් හශීම් (සජබ)


විදුලි ඒකක අඩු ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා සහනදායී ක්‍රමයක් අනුගමනය කරමින් වැඩි ඒකක කාණ්ඩ භාවිතා කරන අයගෙන් සම්පූර්ණ පිරිවැය පියවාගනු ලබන ආකාරයට විදුලි බිල වැඩි කර ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) පැවසීය.

“විදුලිබිල විශාල ප්‍රතිශතයකින් වැඩිවීම නිසා මහජනතාවට මුහුණදීමට සිදුවන දුෂ්කරතා” පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ කල් තැබීමේ යෝජනාවේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (29දා) පෙරවරු 09.30ට රැස් විය. ප්‍රථමයෙන් නිවේදන, ලිපිලේඛනාදිය, වාර්ෂික වාර්තා ආදිය නිකුත් කිරීමෙන් පසුව “විදුලිබිල විශාල ප්‍රතිශතයකින් වැඩිවීම නිසා මහජනතාවට මුහුණදීමට සිදුවන දුෂ්කරතා” පිළිබඳ විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා සභාව කල්තැබීමේ විවාදය ආරම්භ කෙරිණ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (සජබ)

අපේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක, පසුගිය කාලයේ ගත් වැරදි තීන්දු නිසා භාණ්ඩ මිල ඉහළ ගිහින්. ඒ වගේම ආහාර මිල සීඝ්‍රයෙන් ඉහළ යනවා. මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ ඉතාම විශාල ලෙස වැඩි වෙමින් තිබෙනවා. දැන් තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බැරි තත්ත්වයක් රට තුළ ඇති වෙලා. එහෙම ඉන්න කොට තමයි මේ විදුලි බිල විශාල වශයෙන් වැඩි වී තිබෙන්නේ. විදුලි බිල ඉතා විශාල වශයෙන් වැඩි වෙලා. අඩු ආදායම් ලාභීන්ට යම් සහනයක් දෙනවා කිව්වා. නමුත් තවම එවැනි සහනදායී වැඩ පිළිවෙළක් ගැන යෝජනා නෑ. අද වන විට කර්මාන්ත විශාල ප්‍රමාණයක් කඩා වැටිලා තිබෙනවා. පසුගිය කාලය තුළ විදුලිය කප්පාදු කිරීම තුළ කර්මාන්ත ශාලා හිමියන්ට දැරිය නොහැකි තත්ත්වයන්ට පත් වෙන්න පිළිවන්. එහෙම වුනොත් රටේ සමස්ත ආර්ථික ක්‍රියාවළියටම බලපාන්න පිළිවන් කියන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. පසුගිය කාලයේ ගත්තු වැරදි තීන්දු නිසා කර්මාන්ත හිමියන් තවතවත් කබලෙන් ලිපට වැටෙනවා. මොකද අපේ රටට එන විදේශ ආයෝජකයන්ට විදුලි පහසුකම් දෙන්න බැරි වුණා. අපේ කලාපයේ අනෙක් රටවල් විදේශ ආයෝජකයන්ට විදුලි සහන දුන්නා. ඒ තුළ අපේ රටට විදෙස් ආයෝජකයන් පැමිණීම සිදු නොවේවි. මේ වන විට අපේ ආර්ථිකයේ හැම ක්ෂේත්‍රයක්ම අභියෝගයට ලක්වෙලා. විදෙස් ආයෝජකයන් ආවේ නැති වුනොත් එය අපේ රටට තවත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලයට ලැබිය යුතු ආදායම් විශාල ප්‍රමාණයක් ලැබිලත් නෑ. අපි දන්නවා අපේ විදුලි ක්ෂේත්‍රයේ සිටින ඉංජිනෙරුවන් තවමත් අපේ රට වෙනුවෙනු කැප කිරීම් කරනවා. ඒ අතරින් විශාල පිරිසක් ඉන්නවා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරනවාට කැමති. සමගි ජන බලවේගය අපි අනුමත කරනවා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරණයට. එදා අපි මේක කිව්වහම මේ ආණ්ඩුවේ අය අපව විවේචනය කළා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හසීම් මහතා (සජබ)

විදුලි බල ඇමැතිතුමා ගන්න පුළුවන් ලේසීම තීරණය අරගෙන විදුලි බිල වැඩි කළා. ඒකෙන් සමස්ත රටේ ජනතාවම පීඩාවට පත් වෙනවා. ඒ වගේම දුගී දුප්පත් ජනතාව, රාජ්‍ය සේවකයන් වැනි මාස් පඩි ලබන අය වගේම කර්මාන්තකරුවන් ඉතා විශාල වශයෙන් අසහනයට පත් වෙලා. අපි යෝජනා කරන්නේ යම් මුදල් සහනයක් අවශ්‍යයි. මේ අර්බුදයට මුල් වුනේ ජනතාව නොවෙයි. ඇතැම් දේශපාලන පක්ෂ සහ ඇතැම් ඩීල් දාපු දේශපාලනඥයන්, ඇතැම් නිළධාරීන්, සමහර ඉංජිනේරැවන් මේවාට වගකියන්න ඕනා. ඒ අය අසීමිත සැප විඳීම සඳහා ඩීල් දාගෙන මේ අය එකතුවෙලා මාෆියාවක් ඇති කරගෙන තිබෙනවා. මේ මාෆියාව පරාජය කරන්නේ නැතුව, වගකිවයුත්තන්ට දඬුවම් දෙන්නේ නැතුව ජනතාවට දඬුවම් දුන්නා. අපි ඒක අනුමත කරන්නේ නෑ. කෝප් කම්ටුවේදී හෙලි වුණා. රුපියල් කෝටි 47720ක් විදුලි බල මණ්ඩලය සමුච්චිත පාඩුවක් තිබෙනවා. ඒ වගේම රුපියල් කෝටි 61240ක් ණය ගෙවන්න ඕනා. ආණ්ඩුව මේ වසරට මණ්ඩලයට කෝටි 8000ක් දීලා තිබෙනවා. සමෘද්ධියටවත් මෙච්චර මුදල් යන්නේ නෑ.

විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා

විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය ඉතා අපහසු එකක්. මේ තීන්දුව ගන්න වුනේ අතීතයේ සිදුවූ වැරදි නිසායි. එතුමන්ලාත් ඒකට වගකියන්න ඕනා. අපි පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න යන විට මේ අය ටෙන්ඩර් ප්‍රතිපත්තිය ගැන තමයි කතා කළේ. මුතුරාජවෙල තෙල් සංකීර්ණයට සේවකයන් ගැනීම බැලුවොත් කබීර් හෂීම් මහත්තයාලගේ ආණ්ඩුව කාලයේ සේවකයන් විශාල ප්‍රමාණයක් දාලා. පන්දහසක් දාලා. ආයතනය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න ඕනා. ඒක මමත් පිළිගන්නවා. ඒ සඳහා කමිටුවක් දාලා තිබෙනවා අට දෙනෙක්ගෙන් යුතුව. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන වැඩපිළිවෙල ලබන සතිය වන විට මූලික රාමුව දේවි. ලබන මාසය වන විට ඒ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වේවි. එදාට අපට සහයෝගය දෙන්න කඩාකප්පල් කරන්නේ නැතුව. අපි දැක්කා අවස්ථා තිහිපයකදී විදුලි බිල වැඩි කරනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ නොරොච්චෝලේ හදලා විදුලි බිල අඩු කළා. නමුත් විදුලි බල මණ්ඩලය පාඩු ලබන්න ගත්තේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව ආවහම. ඒ කරන්න ඕනා දේවල් නිසි වෙලාවට නොකිරීමයි. ඒ නිසායි අපි නව ආයෝජන ගෙනල්ලා එල්එන්ජී ව්‍යාපෘති ඇති කිරීමයි. නිව් පෝට්‍රස් සමාගම එනකොට බිල්ලෝ මැව්වා. එල්එන්ජී ව්‍යාපෘති කරන්න දුන්නේ නෑ. අපට විදේශ සහයෝගයත් විදේශ තාක්ෂණයත් අපට අවශ්‍යයි. විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කරලා විකුණුහම ලැබෙන ආදායම වසරකට රුපියල් බිලියන 286 යි. ඒ නිසා තමයි මණ්ඩලය බිලියන 869ක් ඉල්ලුවේ. ගල් අගුරු මිල, ඉන්ධන මිල වැඩි වෙලා. නමුත් මහජන උපයෝගිතා කොමිසම ලබා දුන්නේ බිලියන 500ක් විතරයි. දැන් විදුලි බිල වැඩි වෙලා කියලා මහා බිල්ලෙක් මවනවා. නමුත් ගෘහස්ත

පාරිභෝගිකයන්ට විදුලි බිල වැඩි වෙලා තිබෙන්නේ ඒකක 30ක් දක්වා ලක්ෂ 14කට පමණ මාසයකට ගෙවන්නේ රුපියල් 105ක මුදල තමයි 360 වෙලා තිබෙන්නේ. මේක ගෙවන්න නොහැකි කවුරුවත් ඉන්නවාද අද පාන් ගෙඩියක් වුනත් කීයද? ඒකක 31-64 භාවිතා කරන අය අතරේ මාසෙට 280යි ගෙව්වේ. ඒ ගාන රුපියල් 780ක් වෙලා තිබෙනවා. ආගමික සිද්ධස්ථාන ගත්තොත් ඒකක 30 ක් තමයි වැඩියෙන් භාවිතා කරන්නේ ඒ අය උපරිම ගෙව්වේ මාසිකව රුපියල් 87යි. ඒක තමයි මේ වැඩි වෙන්නේ 330ක මුදලක්. අඩු ඒකක ගණනක් භාවිත කරන අයට සහන ලබා දීලා තිබෙනවා. අපි මේ ආයතනයේ යම් කළමනාකරණයක් කරන්න ඕනා. අද අතු කපන්නේ වෙනත් සමාගම්, මේවා මණ්ඩලයට කරන්න පුළුවන්. අලුත් සම්බන්ධතා, විසන්ධි කිරීම් වැනි මණ්ඩලයට කරන්න පුළුවන් දේවල් වෙනත් සමාගම්වලට දීලා තිබෙනවා. ඒ නිසායි යම් ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය වෙන්නේ. නොරොච්චෝලේ නොතිබුනා නම් අපි මීට වඩා ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. අපි අද වන විට පුනර්ජනනීය බලශක්තියට මූලිකත්වය දීලා තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රීක් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා (ශ්‍රී.පො.පෙ)

අපට විදුලිය නිපදවන්න ඇති තරම් ජලය නෑ. ඒ නිසා අපට පොසිල ඉන්ධන ගෙනත් විදුලිය නිෂ්පාදනය කරන්න වෙනවා. ඒ සඳහා මණ්ඩලයට ණය වෙන්නත් වෙලා තිබෙනවා. ඒ නිසා යම් යම් වෙනස්කම් කරන්න වෙනවා. වියළි කාලයේදී අපට වැඩියෙන් ඉන්ධන, ගල් අඟුරු ගෙනල්ලා විදුලිය උත්පාදනය කරන්න වෙනවා. ඒ නිසා වියදම වැඩියි. අපි පැය 24ම විදුලිය දීපු රටක්. වෙන රටවල් එහෙම කරන්නේ නෑ. අපි සුනිත්‍ය බලශක්තිය භාවිතා කිරීම දැන් වත් වැඩි කළ යුතුයි.

(සුජිත් සංජය පෙරේරා මහතා මූලාසනයට පැමිණේ)

ගම්පහ දිස්ත්‍රීක් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ.)

ජනතාවට බඩු මිල වැඩි කිරීමේ බර වැඩි කරලා තිබෙන්නේ. මේක සාධාරණ නෑ. ඒ ඒ පාලකයන් ගත්තු තීරණ නිසායි මේ ආයතනය පාඩු ලබන්නේ. මේවා පාලනය කරපු ඇමැතිවරු මේවාට වගකියන්න. මණ්ඩලය ලබන අලාභයට හේතුව සේවක අතිරික්තය නම් ඒකට වගකියන්නත් ඕනා මෛත්‍රීපාල සේනානායක ඇමැතිවරයාගේ පටන් හිටපු ඇමැතිවරුන්. විදුලි මාෆියාවක් ඇති වීම වගේම හදිසි මිල ගණනන් කරලා කොමිස් ගහන තීන්දුවලටත් ඇමැතිවරු වගකිව යුතුයි. විදුලි ඒකකය වැඩි කරන්න හේතු වුනේ එක් එක් කාලයට ගත්තු වැරදි තීන්දු නිසායි. ඒ වගේම මේ විදුලි බිල වැඩි කරන්න වෙන්නෙත් ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය කරපු යෝජනාවක්. බදු වැඩි කළා. රුපියල පා කළා. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සහ දූෂණයට විරුද්ධ වෙන්න කියලයි අයිඑම්එෆ් එක කිව්වේ. නමුත් මේ අය දූෂණයට විරුද්ධ වෙන්නේ නැතුව අනෙක් යෝජනා ඉටු කළා. ගෑස් මිල වැඩි කළෙත්, ඉන්ධන මිල වැඩි කළෙත් අයිඑම්එෆ් එක කියපු නිසායි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි (ශ්‍රීලපොපෙ)

පාඩු ලබන ආයතන තියෙනවා. ඒ ආයතන තවත් තියාගෙන ඉන්නවා. නැත්නම් ප්‍රතිව්‍යුහගත කරනවාද කියා තීරණය කළ යුතුයි. පාඩුව අඩු කර ගන්නවා වගේම ජනතාව ආරක්ෂා කර ගැනීමත් අපේ වගකීමක්. විදුලි බිල වැඩිවීම සමහරුන්ට දරා ගන්න අමාරුයි.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ)

අපි ආයෝජනයට විරුද්ධ නැහැ. රට ඉදිරියට යෑමට ආයෝජනය අත්‍යවශ්‍යයි. බිල්ලෙක් මවාගෙන තියෙනවා ආයෝන යනු රට විකිණීමක් කියලා. එය නිවැරදි කළ යුතුයි. අයි. එම්. එෆ්. එක බිල්ලෙක් කරගෙන රටට විවිධ මත කියනවා. මූල්‍ය අරමුදල බලෙන් රටට එන්නේ නැහැ. ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යෑමටයි අපි උත්සාහ කරන්නේ.

විදුලි බිල වැඩිවීම ඒකක 60 දක්වාත් සියයට 200 කට වඩා වැඩි වෙනවා. ජනතාව අද අමාරුවෙන් ජීවත් වන්නේ.

විදුලි ව්‍යාපෘති ප්‍රමාද කිරීමට දේශපාලනඥයන් වගේම නිලධාරිනුත් වගකිව යුතුයි. මේවා ප්‍රමාද කළ යුතු නැහැ. කඩිනමින් අත්සන් කළ යුතුයි. සුර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘතිත් නතර වෙලා. ජනතාවට විශාල ප්‍රශ්න අද මතු වුණේ ප්‍රමාද කිරීම නිසයි.

විදේශ ඇමැති අලි සබ්රි

ප්‍රතිසංස්කරණවලින් තොරව මේ රටට අනාගතයක් නැහැ. විදුලිබල උත්පාදනයට යන වියදම වැඩිවී තිබෙනවා. ඩීසල් මාෆියාව නිසා අඩු මුදලට ගත හැකි විදුලිය වෙනුවට වැඩි මුදලට ගන්න තල්ලු කරනවා. වෘත්තීය සමිතියට ඕන විදිහටයි නිලධාරීන් පත් වෙන්නේ. මාෆියාවේ ඉන්න ඉංජිනේරුවරුන් හෝ සේවක සංගමය වෙනුවෙන් මිස ජනතාව වෙනුවෙන් නිලධාරීන් ක්‍රියා කරන්නේ නැහැ. සේවකයන් 21000 ක් ලංවිමට ඉන්නවා. මෙය කොතරම් වැඩිද? වසර තුනෙන් තුනට පඩි වැඩිවීම් වෘත්තීය සමිති ලබා ගත්තා. බෝනස්, වැඩි පඩි ඔවුන් ලබා ගත්තා. සේවක මණ්ඩලය ගැන සලකා බලා අඩු කිරීමට පියවර ගත යුතුයි. දක්ෂ අයට ඉදිරියට යන්න ක්‍රම හැදිය යුතුයි.

මූල්‍ය අරමුදල අපේ රටට බලෙන් එන්නෙ නැහැ. ඔවුන් දාපු කොන්දේසි අපි මීට පෙර කරන්න තිබූ ඒවායි. සමහර සම්පත් ජාතික සම්පත් කිව්වාට ඒවා ජාතික ආදායම විනාශ කිරීමක් සිදු වන්නේ. හැමදාම බොරු විරෝධ මතු කරනවා. ඒකාධිකාරයකින් තමයි වැඩිම හානිය වන්නේ. ටෙලිකොම් ආයතනය හොඳම උදාහරණය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ)

විදුලි කප්පාදුව අඩු වුණේ විදුලි ඉල්ලුම අඩු වූ නිසයි, විශේෂ කළමනාකරණයක් නිසා නොවෙයි. සියයට 20 කින් ඉල්ලුම කඩාවැටිලා. විදුලි ඉල්ලුම හා ආර්ථික වර්ධනය එකට යන්නේ.

අපි නිසි ප්‍රසම්පාදනය කළ නිසා පෙට්‍රල්, ඩීසල් මිල එදා අඩු කළා. ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලැබුවේ 2015 දී. මාෆියාකාරයන්ට යටවුණා නම් කවදාවත් මේ ලාභ ලබන්න බැහැ.

විදුලි බිල වැඩි කිරීමේදී සාධාරණව වියදම ආවරණය කරගත යුතුයි. අද මූල්‍ය අර්බුදය නිසයි සියයට 50 කින් ඉන්ධන මිල වැඩි වුණේ. එය භාණ්ඩාගාරයේ ප්‍රශ්නයක්. ඒකක 60 ට අඩුවෙන් පාවිච්චි කරන ජනතාව 31 ලක්ෂයක් ඉන්නවා. ඔවුන්ට සහන හිමි විය යුතුයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර (ශ්‍රීලපොපෙ)

රටේ ගෑස් සැපයුමේ ඒකාධිකාරය පවරන්න

ගියාම අපි විරුද්ධ වුණා. විරුද්ධ වූ ඇමැතිවරු ඉවත් කළා. අද පොහොට්ටුව කැඩී විනාශ වුණා.

රාජ්‍ය ආයතනවල හැම මට්ටමකම සේවක සභා පත් කළ යුතුයි. ලංවිම විනාශ වුණේ නොයෙකුත් සැපයුම්කරුවන් සමග කරන දූෂිත ගනුදෙනු නිසයි. ලංවිම දූෂණය පිරිවැයෙන් සියයට 25 ක් පමණ වෙනවා. මණ්ඩලයේ තීන්දු ගත්තේ ඉහළ අයයි. මේ විපත නවත්වන්න සේවක කළමනාකරණයක් විය යුතුයි. පුනර්ජනනීය බලශක්ති තීන්දු එකක්වත් තවම ක්‍රියාත්මක නැහැ. ඒවා හමස් පෙට්ටිවල. මේවා දූෂණයට ඇරපු දොරවල්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

විදුලි බිල වැඩි කිරීම ගැන ජනතාව හා ව්‍යාපාරිකයන් අතර දැඩි විවේචන පවතිනවා. විදුලිබල මණ්ඩලයට වෙන විකල්පයක් නැහැ, මිල වැඩි කිරීම හැර. බිලියන 508 ක පාඩුවක් වසරකට ලබනවා. පාරිභෝගිකයන් මත පටවන්න එපා. මණ්ඩලය හා රජය එක්ව ගැටලුව විසඳිය යුතුයි. 2013 නොරොච්චෝලේ ආවට පස්සේ කිසිදු බලාගාරයක් ඉදිකර නැහැ. නියමිත කාලයට බලාගාර ඉදි නොකළ නිසයි අද මේ ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ (ශ්‍රීලපොපෙ)

සේවකයන් වැඩිවීමටත් මේ පාර්ලිමේන්තුව වගකිව යුතුයි. ජනතා සැලසුම් වෙනස් කර විවිධ යෝජනා ක්‍රියාත්මක

කරගන්න.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ)

විදුලි බල ගාස්තු හා විදුලි පිරිවැය ගැන බරපතළ ගැටලු රටේ තිබෙනවා. සමාජයට විශාල බරක් ලෙස දැනුණත් මෙය සිදු කළ යුතු දෙයක්. ක්‍රමානුකූලව එදා සිට නොකළ නිසා අද සම්පූර්ණයෙන් ගැටලුව නිරාකරණය වීමේ විසඳුමට ජනතාවට මුහුණ දෙන්න සිදු වුණා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය (ශ්‍රීලපොපෙ)

එදා ගල්අඟුරුවලින් අවම මිලක් තිබුණේ. ඩොලරයේ ඉහළ යෑම මත ඒකකය රුපියල් 52 දක්වා වැඩි වෙලා. ගෑස් ටර්බයිනයකින් ඒකකයට රුපියල් 187 ක් වැය වෙනවා. සෝලා පවර් ඒකකය රුපියල් 22 යි. තාම ඒකකයකින් රුපියල් 12 ක් පමණ මණ්ඩලයට පාඩුයි.

විදුලි බිල වැඩිවීම පාරිභෝගිකයාට දරාගත නොහැකියි. විදුලි නිෂ්පාදන වියදම අවම කර

ගැනීමේ විසඳුමකට යායුතුයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතාන (සජබ)

පුනර්ජනනීය බලශක්තිය වැඩි කර ගන්න බැරි වුණේ ඇයි. නෙලුම් කුලුන හදන්න වැය කරපු මුදලින් බලශක්තිය වැඩි කර ගන්න තිබුණා. වැඩ කරන්න බැරිව ඇනගත්ත ඇමැතිවරු නිදහසට කරුණු කියනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

අපේ රටේ සහනාධාර ලැබුණේ අතීතයේ සිටමයි. සහනාධාර අවශ්‍යයි. ඒත් සියලුදෙනාට සහනාධාර අවශ්‍ය නැහැ. අවශ්‍ය කෙනාට ලැබිය යුතුයි.

සමෘද්ධිය ලැබිය යුතු සියයට 50කට පමණ ලැබෙන්නේ නැහැ. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ලැබෙන ආදායම ඉහළ දාගන්න බැරි වුණොත් විශාල අර්බුදයක් ඇති වෙනවා.

විදුලිය පිරිවැය තුළ දූෂණය, නාස්තියත් දරන්න සිදුවනවා නම් වැරදියි. දූෂණය, නාස්තිය වියදම නැතිව ඇත්ත පිරිවැයක් තියෙනවා නම් එය පාරිභෝගිකයාට ලබාදීම ගැටලුවක් නැහැ විදුලි සහනාධාරයක් දෙනවානම් නියම හිමිකරුට එය ලැබිය යුතුයි.

පත්කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි (අපේ ජනබල පක්ෂය)

අද වනතුරු නිසි විදුලි ජනන සැලැස්මක් ඉදිරිපත් වී නැහැ. තෙල්වලට, ගෑස්වලට තිබූ තැන පුනර්ජනනීය බලශක්තියට ලෝකය හැරුණා. එහෙත් අපේ රට අර්බුදයක් ඇතිවන තෙක්ම කිසිම විසඳුමක් ඉදිරිපත් කළේ නැහැ. තෙල් පුච්චලා විදුලිය දෙන තැනක අද අපේ රට නෑ. තෙල් වාහන දුවන්න අවශ්‍යයි. විදුලිබල මණ්ඩලයේ කල්ලියත් මොන ඇමතිවත් නිසි වැඩපිළිවෙළකට ඉඩ දුන්නේ නැහැ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ

(ශ්‍රීලපොපෙ)

අනවශ්‍ය විදුලිය පරිභෝජනය පාලනය කරන්න මණ්ඩලය අසමත් වුණා. පාරේ දවල්ටත් ලයිට් පත්තු වුණා. ඒවා නවත්වන්න බැරි වණා. ජනතාවට ඒ බර පැටවූවා. නාස්තිය, දූෂණය, වංචාව අවම කරන්න කිසිවක් සිදුවී නැහැ. සේවකයන්ගෙන් කාර්යක්ෂම සේවයක් ලබා ගන්න වැඩපිළිවෙළක් සකසා ගත යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ (සජබ)

යහපාලන ආණ්ඩුව කාලේදී සුර්ය බලශක්තිය ලබා

ගැනීමට ක්‍රියා කළා. සෝලා පවර් බලශක්තිය වැඩි කරන්න ක්‍රියා කළා.

ගල්අඟුරු ටෙන්ඩරය ලබාදී තිබෙනවා. එහි සිදු වී ඇති ගනුදෙනු පිළිබඳව අපි සොයා බලනවා. අපි වැරදි ඇත්නම් නඩු පවරනවා. විදුලිබල මණ්ඩලයට පසුගිය යහපාලන ආණ්ඩුව බඳවා ගත්තේ මෑන් පවර් සේවකයන්වයි. වසර

ගණනාවක් වැඩ කරලා හිටපු අය ස්ථිර කළා.

පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ)

අපේ රටේ ස්වාධිපත්‍යය මේ බලශක්ති ආයෝජන හරහා අහිමි වනවාද යන්න ප්‍රශ්නයක් පවතිනවා. සුළඟ, හිරුඑළිය භාවිතාවෙන් රටේ ස්වාධීනතාව තහවුරු කරගත හැකිව තිබියදී විදෙස් ආයෝජනවලට ගොස් අවදානමක් ගන්නේ ඇයි. ගිවිසුම්වලට එළැඹිමේදී ඉතා අවධානයෙන් කටයුතු කරන්න.

පාර්ලිමේන්තුව අද (30 දා) පස්වරු 1.00 ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment