රට ගොඩ ගත් ජනපති යළි ගේන්න මුලින්ම ජනාධිපතිවරණයක් අනෙක් ඡන්ද ඊට පස්සේ – එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර

107

රට ගොඩදාපු ජනාධිපතිවරයා නැවත පත්කරගන්න ජනාධිපතිවරණයක් පවත්වා ඊට පස්සේ අනෙක් මැතිවරණ පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (17 දා) පැවසීය.

ජනාධිපතිවරයා නිතරම කීවේ රටේ ආර්ථිකය හදන්න ඕන. ඒ සඳහා සංචාරක, කෘෂි, ධීවර ආදී කර්මාන්ත දියුණු කළ යුතු බව යැයි ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවේදී රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ජනාධිපතිවරයා වැටී තිබෙන තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් ජනතාව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, වෘත්තිකයන් ඇතුළු සියලු දෙනා සහාය දිය යුතුයි. කපා කපා කෑලි කපා – දියව්, දියව් කියමින් නගර වහගෙන උද්ඝෝෂණ කිරීමෙන් අභියෝගවලට උත්තර ලැබෙන්නේ නැහැ.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු හරස් වෙනවා නම් ඉතාම කනගාටුවට කරුණක්. මේ දරුවන්ගේ උත්තර පත්‍ර බලා ඔවුන්ට ඉදිරියට යන්න ඉඩ දෙන්න. රටේ අනාගතය ලෙස ඔවුන්ට ඉදිරියට යන්න ඉඩ දෙන්න. ඒ අවස්ථාව අහුරන්න එපා. මස් රාත්තලම ඉල්ලන්න එපා.

රටේ කෘෂිකර්මාන්තයට රිළව්, මොනරුන් සහ වල් අලි නිසා විශාල හානියක් සිදු වෙනවා. බොහෝ ප්‍රදේශවල ජනතාවට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙලා. රටේ භූමි ප්‍රමාණය සමග සන්සන්දනය කරන විට අලි ගහනය වැඩි වෙලා. රිළා මොනර ගහනයත් ඒ වගේමයි. එය පාලනය කළ යුතුයි. පාලනය කරන්න බැරි නම් භාරගන්න කවුරු හරි ඉදිරිපත් විය යුතුයි. රිළා සංවිධාන වෙනුවෙන් කතා කරන සංවිධානවල කටට ඩොලර් වැටෙනවා. ඩොලර්වලට කට අරින මිනිසුන්ට වන්නියේ මිනිස්සු විඳින දුක වේදනාව තේරෙන්නේ නැහැ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment