පුත්තලමේ ෆයිසර් දුන්නේ ආණ්ඩුවට උදව් කරපු විශේෂ අයටයි…. නව ප‍්‍රභේද දෙක මාරාන්තික යැයි පවසද්දී ඉන්දීය සංචාරකයන් ගෙන්වීම ඛේදවාචකයක්!

145

ආණ්ඩුව සියලූ දත්ත වසන් කරමින්  රටේ ජනතාව  අගාධයකට දමලා

‘‘වෛරසය මැඬ පවත්වන්න අවශ්‍ය ඇඳිරි නීතියක් නෙමෙයි අද පනවල තිබෙන්නේ. වෘත්තීය සමිති හා ඇතැම් පාර්ශ්වයන්ගේ කටේ බලයට දමපු ඇඳිරි නීතියක්’’ යැයි සමගි ජනබලවේගය පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27 දා* පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

ආණ්ඩුව මේ මොහොතේ සමස්ත රටේ ජනතාවම අගාධයට දමලා. ජනතාව දුක් විඳිමින් තමයි වසංගතයට මුහුණ දෙන්නේ. ආණ්ඩුව රටේ සියලූ දත්ත තොරතුරු වසන් කරමින් කටයුතු කරනවා. රටේ ජනතාවට ඇත්ත වසන් කරමින් ජනතාව මිරිකමින් තලා පෙලමින් තමයි රට පාලනය කරන්නේ. ආණ්ඩුවෙන් රට සම්පූර්ණයෙන්ම ගිලිහිලා තියෙන්නේ. ආණ්ඩුවේ පාලනයක් රටේ නැහැ. ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ජනතාව පාගාගෙන ඒකාධිපති විදියට රට පාලනය කරන්න.

රටේ සමස්ත ව්‍යාපාරික කණ්ඩායමක් රටේ සාමාන්‍ය පන්තියක් ආණ්ඩුවේ පාලනයෙන් මුදා ගෙන එම අය පාලනය කරමින් සිටිනවා. එන්නත්කරණය ගැන මුලසිටම සැණකෙළියක් කරගත්තා. මගේ අත්දැකීමක් අනුව කියනවා නම් පුත්තලම් දිස්ත‍්‍රික්කයට ෆයිසර් එන්නත ලබාදෙන කොට කියනවා ඉන්දියාවට ළඟ නිසා එම එන්නත ලබා දෙන්නේ කියලා. එය මෝඩ කතාවක්. එමනිසා නෙමෙයි පුත්තලමට ෆයිසර් එන්නත ලබා දුන්නේ. එය ලබා දුන්නේ ආණ්ඩුවට උදව් කරපු විශේෂ අයට. කුරුණෑගල යාපනය වැනි දිස්ත‍්‍රික්ක පුත්තලම දිස්ත‍්‍රික්කයට ආසන්න නිසා එම දිස්ත‍්‍රික්කවල අයට එන්නත ලබා ගැනීමේ පහසුව නිසා. එය අපි අත්දැකීමෙන් දැක්කා. තවත් සිදුවීම් රැසක් පුත්තලමේ සිදුවුණා. අපි දැක්කා උදේම එන්නත ලබාගන්න ආපු අය සවස 6 වෙනකන් ඉඳලා එන්නත නැතිව ගෙදර ගියා. එසේ ගියේ සරම බැනියම රෙද්ද හැට්ට අඳින ගමේ ඉන්න පොඩි මිනිස්සු ටික.

දංකොටුව ප‍්‍රදේශයේ ජනතාවටත් එන්නත ලබා ගන්න බැරිවුණා. එම අය උදේ 9ට එනවා හවස 6 වෙනකම් පෝලිමේ ඉඳලා එන්නත නැතුව ගෙදර ගියා. හැබැයි අපි දැක්කා කොළඹ සුදු නෝනලා කළු කන්නාඩි දාගෙන ඇවිත් එන්නත ගහගෙන යනවා. කොහොමද හැටනම ලක්ෂයට ඇරපු ඇරිල්ල. එම අයට එන්නත දුන්නට ප‍්‍රශ්නයක් නැහැ. නමුත් මුලින් ගමේ අයට ලබාදිය යුතුයි. ගමේ අයට ලබා නොදී පිට අයට එන්නත දෙනවා නම් එය පාලනයෙන් ගිලිහී තිබෙන බව පෙනී යනවා. දේශපාලනඥයන් එහෙම වැඩ කරනකොට නිලධාරිනුත් බලනවා එහෙම වැඩ කරන්න. එහිදී නිලධාරීන්ට දොස් කියන්න බැහැ අපි ආණ්ඩුවට කියනවා හිතවත් අයට එන්නත ලබා ගන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙනම ස්ථානයක් සූදානම් කරල විහාර මහා දේවි පාර්ක් එකේ කරපු විදියට කරන්න කියලා. දෙවියන්ගෙ නාමෙන් ගමේ සිටින අහිංසක මිනිසුන්ගේ එන්නත් ටික ලබා ගන්න හදන්න එපා. එම අය බොහොම අපහසුවෙන් පෝලිමේ ඉන්නේ. එන්නත රාජපක්ෂවරුන්ගේවත් මැති ඇමැතිවරුන්ගේවත් නෙමෙයි. අහිංසක ජනතාවගේ බදු සල්ලිවලින් ගත්තු එන්නත් ආණ්ඩුව හිතන්නේ හිතවතුන්ට ලබා දීලා ඒ අයගේ සල්ලිවලින් එන්නත ලබා ගත්ත කියලා. එමනිසා මෙම එන්නත්කරණය සැණකෙළියක් කරගන්න එපා. ඕනෑම කෙනෙකුට එන්නත ලබා දෙන්න. හැබැයි මුලින්ම ගමේ ජනතාවට ප‍්‍රමුඛත්වය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

අද රටට වෙන්න යන ඊළඟ කාරණාව ගැන සියලූ දෙනා දන්නවා. ඉන්දියාවේ සිටින සංචාරකයන් මේ රටට ගෙන්වන්න හා සංචාරය කරවන්න සැලසුම් කරලා. ඒ පිළිබඳව ප‍්‍රධාන පෙළේ අය සාකච්ඡා කරලා. ඒ ගැන Sunday Times පුවත්පතේ නිවේදනයක් තිබෙනවා. විශේෂයෙන් ස්තුති කරනවා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිටින රවි කුමුදේශ් මැතිතුමාට. එතුමා ඇත්ත තත්ත්වය රටට ප‍්‍රකාශ කිරීම ගැන. එතුමා තමයි මුලින්ම කිව්වේ ඩෙල්ටා සහ ඇල්ෆා ප‍්‍රභේද ඉන්දියන් සංචාරකයන්ගෙන් හා යුක්රේන සංචාරකයන්ගෙන් අපේ රටට ආපු බව.

අද ඩෙල්ටා ප‍්‍රභේදය නිසා මේ රටේ විශාල අනතුරක් තිබෙනවා. එසේ තිබියදී ඉන්දියානු සංචාරකයන් මේ රටට ගෙන්වන්න හදනවා. හැබැයි පාකිස්තානයේ ඒ පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදු කරලා. ඒ නව ප‍්‍රභේද දෙකක් ඉන්දියාවෙන් හමු වූ බවට. එම ප‍්‍රභේද එන්නත්වලට ඔරොත්තු දෙන්නේ නැති බවත් කියා තිබෙනවා. එම වෛරසය වැළඳුන අය අනිවාර්යෙන් මියයන බව කියනවා. එසේ තිබියදී ඉන්දියානු සංචාරකයන් අපේ රටට ගෙන්වීම නතර කළ යුතුයි. එම සංචාරකයන් ගෙන්වීමෙන් රටට මහා ඛේදවාචකයක් සිදු වෙනවා. සංචාරකයන් අපේ රටට අවශ්‍යයි. විදේශ විනිමය අපේ රටට අවශ්‍යයි. නමුත් ඊට වැඩිය මිනිස් ජීවිත රටට අවශ්‍යයි. වයස අවුරුදු 60 ට එහා අය මියයනවා කියලා ආණ්ඩුව උඩ පැන්නට මතක තියාගන්න ඒ අය තමයි මේ රට හැදුවේ. අද වන විට බාලවියේ මැදිවියේ අයත් මියයනවා. එසේ තිබියදී තවත් බරපතළ ප‍්‍රභේද දෙකක් මේ රටට ආනයනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේවට ආණ්ඩුව බුද්ධියෙන් සිතා තීන්දු තීරණ ගත යුතුයි. මිනිස් ජීවිතත් රටත් විනාශ කරලා ආර්ථිකය හදල වැඩක් නැහැ. ඒ සියල්ල රැකගෙන ආර්ථිකය රැකගත යුතුයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment