ජනතාව වෙනුවෙන් වැඩ කරපු කෙනෙකුට අත ඉස්සීම විශාල පාපයක්- ජනක ඉවත් කරන යෝජනාවට සජබ විරුද්ධයි -ලක්‍ෂ්මන් කිරිඇල්ල

93

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට හෙට (24දා) පවත්වන ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය. ඒ පිළිබඳව මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

“මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සෑම විටම උත්සාහ කළේ පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඔහු ඉවත් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ ඔහු විසින් කරන ලද වැරදි හැටියට හඳුන්වන්නේ පාරිභෝගික අයිතිය ආරක්ෂා කරන්න කරපු වැඩ. වෙන කිසිම වංචා දූෂණයක් නෑ. ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඔහු විදුලිබල මණ්ඩලයට විරුද්ධව අධිකරණයට ගියා කියලා චෝදනාවක් තියෙනවා. ඔහු අධිකරණයට ගියේ විදුලිබල මණ්ඩලය රටේ සාමාන්‍ය ජනතාව ගසා කන එක නවත්තන්නයි.

මේ සභාපතිවරයා ඉවත් කිරීම ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගයක්. 2019 ස්වාධීන කොමිෂන් සභා පනත යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන ආවත් පසුව 2020දී විසිවන සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැති කළා. නමුත් දේශීය සහ ජාත්‍යන්තර බලපෑම නිසා 21 වන සංශෝධනය යටතේ නැවත වරක් ස්වාධීන කොමිෂන් සභාවලට නිදහස ව්‍යවස්ථාව අනුව පොතේ හැටියට ලැබුණා. නමුත් අපිට පේනවා තිරය පිටුපස ස්වාධීන කොමිෂන් සභාවලට විශාල බලපෑම් කරනවා. එහිදී පාරිභෝගික අධිකාරිය එක උදාහරණයක්. පාරිභෝගිකයා වෙනුවෙන් සටන් කරපු සභාපතිවරයෙක් ඉන් ඉවත් කරන්න රජය කටයුතු කරනවා.

උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය එදාට ඡන්දය පාවිච්චි කරනවා. ජනතාව වෙනුවෙන් මෙච්චර වැඩ කරපු කෙනෙක් ප්‍රසිද්ධියේ මෑත ඉතිහාසයේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා නෑ. ජනතාව වෙනුවෙන් මෙච්චර වැඩ කරපු කෙනෙකුට අත උස්සනවා කියන්නේ විශාල පාපකර්මයක්.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment