කරාපිටිය රෝහලට කෝටි දෙසීයක් ඇමැති රමේෂ් කියයි

120

කරාපිටිය රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ උපකරණ ගැනීම සඳහා රුපියල් කෝටි දෙසීයක් වෙන්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මෙම රුපියල් කෝටි දෙසීයෙන් සියයක් රෝහලේ අලුත්වැඩියා කටයුතු සඳහා ද කෝටි සියයක් මහාචාර්ය ඒකකය, ශල්‍ය වෛද්‍ය ඒකකය, දන්ත වෛද්‍ය ඒකකය ඉදි කිරීම සහ උපකරණ ගැනීම සඳහා වෙන් කර ඇතැයි හෙතෙම කීවේය.

එයට අමතරව බලපිටිය සහ ඇල්පිටිය රෝහල් සඳහා රුපියල් කෝටි දහය බැගින් ද උඩුගම රෝහල සඳහා රුපියල් කෝටි අටක් ද වෙන්කර ඇතැයි ද හෙතෙම කීවේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පැවැති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

එහිදී රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් කියා සිටියේ දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාමීය රෝහල් විස්ස ප්‍රතිසංස්කරණය සඳහා ද එක් රෝහලකට රුපියල් මිලියන දෙක බැගින් වෙන්කර ඇති බවය. සංවර්ධන කටයුතු සඳහා මෙසේ මුදල් ලැබී තිබෙන්නේ වසර දෙකකට පමණ පසුව බව ද ඒ මහතා කියා සිටියේය.

අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment