කැලණිය සරසවියේ පරිගණක හා තාක්‍ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් කර නැහැ

186

පේරාදෙණිය සරසවියේදී සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ අධ්‍යයන කාලසටහනත් නෑ

පවතින දුර්වලතා නිසා ඇතිවන පීඩනය දරාගත හැකිද?

වසන්ත මුදලිගේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පැමිණ කතා කරයි

සරසවි බලධාරීන් කාරක සභාවට කැඳවීමට තීරණයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් එම පීඨයේ ප්‍රතිඵල නිකුත් නොකිරීම නිසා සිසුන් දැඩි පීඩාවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත කැඳවූ

අවස්ථාවේදීය. කාරක සභාව එහි සභාපති අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්විය.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීමට සහ ඒ සඳහා ඉදිරිපත් කළ හැකි යෝජනා සහ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීම පිණිස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කමිටුව හමුවට කැඳවා තිබිණි.

කැලණිය සරසවියේ පරිගණක හා තාක්‍ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් කර නැහැ

අධ්‍යාපනය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් විය යුතු බව සඳහන් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පැවසුවේ උසස් අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා හේතුවෙන් මතුවන පීඩනය දරා ගත නොහැකිව බොහෝ සිසුන්ගේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය බිඳ වැටෙන බවයි.

තවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය තවමත් අධ්‍යයන දින කාලසටහන ඉදිරිපත් කර නොමැති බවත් සබරගමුව විශ්වවිද්‍යාලය තවමත් විභාග පැවැත්වීමට කටයුතු කර නොමැති බවත් මෙහිදී අනාවරණය විය.

ඒ අනුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් සාමූහිකව සාකච්ඡා කිරීම සඳහා කාරක සභාව හමුවට කැඳවා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට කමිටුව තීරණය කළේය.

කමිටු සාමාජිකයන් වන රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය චරිත හේරත් සහ දයාසිරි ජයසේකර යන මහත්ම මහත්මීහු ද කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment