කිළිනොච්චියේ ‘රත්තරන් ගස්’ සිටුවලා…! ගස් පහට වියදම ලක්‍ෂ 27ක්

1136

නිරීක්‍ෂණයට එක වරක් ගිය ‘ටීඕ’ 11 වතාවකට මුදල් අරන්

කිළිනොච්චියේ රෝහල ඉදිරිපිට පරිසරය අලංකාර කිරීමට ගස් පහක් සිටුවීමට රුපියල් ලක්ෂ 27 ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව විගණන පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

පරිසරය අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් වශයෙන් රෝහල ඉදිරි පිට ගස් වවා ඇති අතර ගස් පහක් සිටුවා එම ගස් යකඩ දැල්වලින් ආවරණය කිරීම සඳහා මෙම මුදල සභාපතිවරයාගේ හිතවතෙකුට ගෙවා ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කොට තිබේ. මෙම ගස් පහ සිටුවීමේ කාර්ය නිරීක්ෂණය කිරීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරීවරයා 11 වතාවක් එම ස්ථානයට ගිය බව සඳහන් කරමින් ඒ වෙනුවෙන් පරීක්ෂා කිරීමේ ගාස්තුවක්ද කරච්චි ප්‍රාදේශීය සභව විසින් පොත්පත්වල සඳහන් තොරතුරුවලට අනුව ගෙවා තිබේ.

නමුත් එම කාර්මික නිලධාරියා පවසා ඇත්තේ ඔහු එම ස්ථානයට ගොස් ඇත්තේ එක් වරක් පමණක් බවයි. එකිනෙකට පරස්පර වූ ප්‍රකාශ හා ගිණුම් ද බිල්ද ගස් පහක් සිටුවීමට වැය කොට ඇති මුදල රුපියල් ලක්ෂ 27 ක් වීම නිසාද ඇති වූ සැකයන් මත උතුරු පළාත් පාලන කොමසාරිස් කාර්යාලය විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. මේ පිළිබදව කළ විමසීමකදී කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරියකු කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසරයක් ලබාගෙන නොමැති බවත් එම කොන්තාත්තුව ලබා දීමේදී විධිමත් හා විනිවිද භාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සභාපතිවරයා විසින් අනුගමනය නොකොට ඔහුගේ හිතවතෙකුට එම කොන්ත්‍රාත්තුව සභාපතිවරයාගේ මනාපය මත ලබා දී ඇති බවයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment