අරාබි මුහුදේදී මියගිය නාවිකයාගේ සිරුර දින 12ක් තිස්සේ ඕමාන වරායේ

827

සිරුර ගෙන්වා ගැනීමට බලධාරීන්ට කිසිම වුවමනාවක් නෑ – ඥාතීහු චෝදනා කරති

ඉකුත් 10 දා අරාබි මුහුදු සීමාවේ නෞකාවක් තුළදී මියගිය මුහුදු ආරක්ෂක නාවිකයාගේ දේහය දින 12ක් ගතවෙලත් එම දේහය මේ වන විටත් ඕමාන් වරායේ තබාගෙන ලංකාවට එම දේහය ගේන්න ප්‍රමාද කරන්නේ කුමන හේතුවකට දැයි එම මරණකරුගේ බිරිඳ ඉන්ද්‍රා කුමාරි රණසිංහ මහත්මිය ඇතුළු ඥාතීන් පිරිස රක්නා ලංකා ආරක්ෂක සමාගමෙන් ප්‍රශ්න කරති.

රටට විදේශ විනිමය ගේන්න, විදේශ නෞකාවලට ආරක්ෂාව සපයමින් සිටි මෙම සමුද්‍ර ආරක්ෂක නාවිකයා ඉකුත් 10දා උදෑසන අරාබි මුහුදු සීමාවේ යාත්‍රා කරමින් සිටි නෞකාවකදී හදිසියේ මියගොස් තිබිණි.

පසුව මෙම මරණකරු සේවය කළ එංගලන්ත මුහුදු ආරක්ෂක සමාගමක් විසින් මෙම මරණය සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ, මොහු හදිසියේ මෙලෙස මියගොස් ඇත්තේ එම සාමාගමට අයත් නෞකාවකදී බවත් මොහුගේ දිවි බේරාගැනීමට එම නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් සමුද්‍ර ආරක්ෂක නාවිකයන් උත්සහ කළත් මෙම නාවිකයා බේරාගැනීමට නොහැකි වූ බවත් මෙම මරණයට හේතුව මෙතෙක් තහවුරු කර නොමැති බැවින් මෙරට නියෝජිත රක්නා ආරක්ෂක ලංකා සමාගමත් සමග සාකච්ඡා කර සියලු කටයුතු සිදුකරන බවකි.

අරාබි මුහුදේදී මියගිය නාවිකයාගේ සිරුර දින 12ක් තිස්සේ ඕමාන වරායේ

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 වියෙහි පසුවන චමින්ද පහළගෙදර නැමති තිදරු පියෙක් වන අතර මොහු මියයෑමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 12 කින් පසු නීති්‍යානුකූලව ඉවත් වී මෙලෙස මෙම රැකියාව සඳහා එක්ව තිබිණි.

මේ සම්බන්ධයෙන් අදාළ මරණකරුගේ බිරිඳ වන එච්. කේ. ඉන්ද්‍රා කුමාරි රණසිංහ මහත්මිය මෙසේ කීය.

මගේ මහත්තයා මෙම රැකියාවට එක්වෙලා අවුරුදු හයකටත් වැඩියි. මගේ මහත්තයාට මේ වගේ කරදරයක් වෙයි කියල අපි කවදාවත් හිතුවෙ නෑ. මේ සිදුවීම ආරංචි වුණ වෙලාවෙ ඉඳල මමයි මගේ දරුවෝ ටිකයි ඉන්නෙ කියා නිමකරන්න බැරි වේදනාවකින්. මට හිතාගන්න පුළුවන් මේ වගේ මරණයක් වුණහම ඒ දේහය ලංකාවට ගේන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි කියල. නමුත් මම කියන්නෙ මගේ මහත්තයගේ දේහය ලංකාවට

ගේන්න රක්නා ලංකා සමාගම කරන මැදිහත්වීම මදි කියලයි. රක්නා ලංකා සමාගම කිසි දෙයක් අපිට පැහැදිලිව කියන්නෙ නෑ. මගේ මහත්තය වෙනුවෙන් හත් දවසෙ දානයත් දීල ඉවරයි. ඒත් මහත්තයගේ දේහය තාම ගෙනල්ලා නෑ දෙයියනේ.

මේ සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නෞකා මෙහෙයුම් සම්බන්ධීකාරක ජෙනරල් සනත් වනිගසිංහ මහතාගෙන් විමසීමේදී ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තම සමාගම විශාල මැදිහත්වීමකින් කටයුතු කරන බවත්, දේහය මරණ පරීක්ෂණයකින් පසු ලංකාවට රැගෙන ඒමට ඉක්මණින් කටයුතු කරන බවයි.

මකුලෑව – එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment