මාස තුනක් විදුලිය කපන්න ලංවිම අවසර ඉල්ලයි

287

විදුලිය අරපරිස්සමින් භාවිතා නොකළහොත් ඉදිරි මාස තුනේදී විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ ට පැවසීය.

ඉදිරි මාස තුනක කාලයේදී විදුලි කප්පාදුවක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇතැයි ද විදුලිය අරපරිස්සමින් පාවිච්චි නොකළහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව ද ඒ මහතා කීය.

පවතින තත්ත්වය නිසා යළි දැනුම්දෙනතුරු සවස 6.00 සිට රාත‍්‍රි 10.00 වනතුරු විදුලි පරිභෝජනය අවම මට්ටමින් පවත්වාගෙන යෑමට විදුලි පාරිභෝගිකයන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ් මහතා කීය.

විදුලි උදුන්, රෙදි සෝදන යන්ත‍්‍ර, වායු සමීකරණ භාවිතයෙන් ඉවත් වී සිටින ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

වීදි පහන් ලක්‍ෂ පහක් පමණ රාත‍්‍රියකට දල්වන බවත්, ඒ වෙනුවෙන් දිනකට මෙගාවොට් 50 ක් වැය වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

වීදි පහන්වලින් සියයට අසූවක් නිවා දමන ලෙස ද ව්‍යාපාරික ස්ථානවල වායුසමන යන්ත‍්‍ර දිනකට පැය හතරක කාලයකට ජෙනරේටර් මගින් බලගන්වා ගන්නා ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී. නොඑසේ නම් ලංවිම ඉල්ලා ඇති පරිදි විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව ද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment