මන්දපෝෂණය ඉහළට

67

ගැහැනු දරුවන්ගේ දුක ලෝකයෙන්ම දෙක

වැඩියෙන්ම ලොව මන්දපෝෂණයෙන් පෙළෙන ගැහැනු දරුවන් සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාව සිය පර්යේෂණ වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයෙන් මිදෙමින් පැවතියත් පෝෂණ අර්බුදය ඉහළ යෑම හේතුවෙන් මෙරට දරුවන් ලක්ෂ නමයක් පමණ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට ගොදුරුවීමෙන් දරුවන් අතර මන්දබුද්ධික තාවයත් ඉහළ යෑමේ දැඩි අවදානමක් මතුව ඇතැයි එම වාර්තා උපුටා දක්වමින් විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කළේය.

වයස අවුරුදු 5 ත් – 19 ත් අතර පාසල් වයසේ ගැහැනු දරුවන් අතරින් හාරලක්ෂ දස දහසක් දෙනා වයසට සරිලන බරින් සමන්විත නොවීම මෙම මන්දපෝෂණ තත්ත්වයට ගොදුරුවීමට හේතුවී ඇති බවත්, එය ප්‍රතිශතයක් ලෙස 16.4% ක් වන බවත් මෙම තත්ත්වය ලෝකය සමග සන්සන්දනය කිරීමේදී ඉන්දියාවට පමණක් දෙවැනි වී ඇති බවත් අදාළ පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ලොවපුරා රටවල් 199ක මිලියන 220 ක ජනගහනය ආශ්‍රයෙන් පර්යේෂකයන් 1000 කගේ පමණ සහභාගිත්වයෙන් සිදුකළ අදාළ පර්යේෂණයේදී ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් උසට සරිලන බර ප්‍රධාන නිර්ණායකයක් ලෙස යොදාගෙන ඇත.

ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ පර්යේෂණ වාර්තාවන්ට අනුව මෙරට පිරිමි දරුවන් වයසට සරිලන බරකින් සමන්විත නොවීමේ ප්‍රතිශතය 17.8% කි. එනම් පිරිමි දරුවන් හාරලක්ෂ පනස්දහසක් පෝෂණ අර්බුදයට ලක්ව ඇත. සමස්තයක් ලෙස මෙරට පාසල් දරුවන් අතරින් 860,000 ක් වයසට සරිලන බරකින් සමන්විත නොවන බව ද එම පර්යේෂණ වාර්තාව කියයි.

මෙලෙස මන්දපෝෂණ තත්ත්වයට ගොදුරුවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට දරුවන්ගේ එන්සයිම සහ හෝමෝන නිෂ්පාදනය අඩාල වන බවත්, එදිනෙදා කායික ක්‍රියාවන් බිඳ වැටීමෙන් ප්‍රතිශක්තිකරණය ඌණවීම ඇතුළු කායික රෝග රැසකට මෙරට දරුවන් ගොදුරුවෙමින් පවතින බවද විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා අවධාරණය කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment