දරුවන්ගේ ඛේදවාචකය

689

අප රටේ දරුවෝ සැලකිය යුතු ප්‍රමණයක් මේ වනවිට මන්දපෝෂණයෙන් පෙළෙති. ඊට හේතු වී ඇත්තේ එම දරුවන්ගේ දෙමාපියන් මුහුණදී ඇති දරුණු ආර්ථික අර්බුදයයි. තුන්වේල කෙසේ වෙතත් දෙවේලක්වත් තම දරුවන්ගේ කුස පිරවීමට හැකියාවක්, ආර්ථිකයක් නැති මිනිස්සු පවතින ක්‍රමය විසින් බිහිකර තිබේ. එදා මෙදා තුර රට කරවූ දේශපාලනඥයෝ මේ රට උලා කෑ නිසා මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ. මැතිවරණ කාලවලදී සෞභාග්‍යයෙන් මේ රට ආසියාවේ ආශ්චර්ය කරන බවට පොරොන්දු වූ දේශපාලඥයන් දරුවන්ට මන්දපෝෂණය හැදෙන තුරු රට සංවර්ධනය කළේ කටින් පමණි. තමන්ගේ මඩිය පමණක් තරකර ගන්නා කොමිස් දේශපාලනය විසින් අප රට පත් කළ තැන අතිශය කණගාටුදායකය.

කොළඹ දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගැන සොයාබැලීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ විසින් සායන පවත්වණු ලැබේ. මෙම සායනවලට මව්වරු විසින් දරුවන් රැගෙන නොඑන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඊට හේතු වී ඇත්තේ පොදු ප්‍රවාහන වියදම් ඉහළ යෑමයි. පසුගිය 26දා රැස් වූ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛi මහින්ද ගජනායක මහතා මේ බව හෙළිදරව් කර තිබිණි. අන්ත අසරණ දිළිඳු දෙමාපියන් පත් වී ඇති ආර්ථික අහේනියේ තරම මෙම පුවතින් හෙළිදරව් වන බවට සැක නැත.

දරුවන්ගේ මන්දපෝෂණය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සෘජුව බලපාන කාරණයකි. දරුවන්ට විවෘත මනසකින් ලෝකය දකින්නට අධ්‍යාපනයේ ඵල නෙළා ගැනීමට මෙන්ම යහපත් නිරෝගී පුරවැසියකු ලෙස සමාජගතවීමට නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට සමබල ආහාර වේලක් අවශ්‍යය. නමුත් දරුවන්ට සමබල ආහාර වේලක් ලබාදීම සෞඛ්‍ය පාඩමට පමණක් සීමා වී තිබේ.

අඩු පෝෂණ මට්ටම් සහිත දරුවන් සඳහා වන පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට ඇතුළත් කරන සිසුන් සංඛ්‍යාව මිලියන දෙකක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී තිරණයකර තිබිණි. නමුත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරනුයේ එම කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට මේ වනතෙක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වා ඇති අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා ඇත්තේ 2024 දී පාසල්වල දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට තෝරාගනු ලබන සිසුන් ප්‍රමාණය ලක්‍ෂ 22 දක්වා වැඩි කිරීමට අපේක්‍ෂා කරන බවයි. ගුරු සංගමයේ ලේකම්වරයාගේ චෝදනාව මෙන්ම ඇමැතිවරයාගේ ප්‍රකාශය දෙස බැලූ විට පෙනී යන්නේ ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු කාරණයන් යම්කිසි හේතුවක් නිසා ප්‍රමාද වන බවකි.

අප රටේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ඉන් මුදා ගැනීම සඳහා කඩිනම් පියවර ගැනීම බලධාරීන්ගේ යුතුකමකි. ඒ සඳහා අදාළ දරුවන් තෝරා බේරාගෙන ඉලක්ක සහගත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මේ සඳහා ඇති හොඳම පිළිතුර වනු ඇත. රජයට මෙන්ම පෞද්ගලික අංශයට ද එසේම විවිධ ස්වෙච්ඡා සංවිධානවලට ද මේ සඳහා මැදිහත්වීමට පුළුවන. අපේ රටේ දරු පරපුර රටට සම්පතක් ලෙස සලකා ක්‍රියාකිරීම සැමගේ වගකීමකි. හෙට රට භාරගැනීමට සිටින වටිනාම ආයෝජනය වන දරු පරපුර ගැන නොසොයා නොතකා ක්‍රියාකළ හොත් ඉන් අනාගතයේ සිදුවීමට හැකි ප්‍රතිඵල ඉතාමත් කනගාටුදායක වීමට ඇති ඉඩකඩ වැඩිය.

අප මෙතෙක් සාකච්ඡා කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අප රටේ දරුවන් පිරිසක් මුහුණ දී ඇති ඛේදවාචකයේ ස්වරූපයයි. පොදුවේ ගත් කල මෙම දරුවන් ඉලක්ක කර වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු සේම සමස්තයක් ලෙස රටේ සියලුම කුටුම්බ මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ඔවුන් මුදා ගැනීම සඳහා රටේ ආර්ථිකය නිසි පීල්ලට ගැනීම අනිවාර්යයෙන් කළ යුතුව තිබේ. මේ වනවිට ඉහළ ගොස් ඇති බඩුමිල හමුවේ ජනතාව දැඩි සේ අසරණ වී තිබේ. ඉහළ විදුලි බිල් සහ වතුර බිල් ගෙවූ විට ගෙදරට බඩු මල්ලක් නොව ගෙන ඒමට සිදුව ඇත්තේ හිස් මල්ලකි. මේ රටේ බහුතර ජනතාව මුහුණදෙන ඛේදවාචකය එය බව රහසක් නොවේ. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා බදු ගැනම පමණක් නොසිතා නිෂ්පාදන ආර්ථිකයකට ඉක්මනින් රට තල්ලු කිරීම අත්‍යවශ්‍යය. රටේ ආර්ථිකය ශක්තිමත් කරන අතරේ අප රටේ පවුල් අතර ඇති ආදායම් විෂමතාව නැති කිරීමට කෙසේ වෙතත් එය අවම කිරීමට හැකි වුවහොත් අපේ රටේ දරුවන්ටත් යහපත් හෙටක් අපේක්‍ෂා කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment