තරුණ මදය ඔඩුදිව්වා මහ පාරෙම මරු දැක්කා

710

මොරොන්තුඩුව ගෝනදූව යතුරුපැදි අනතුර:

18 හැවිරිදි මිතුරන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් මොරොන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනාම එම ස්ථානයේම මියගොස් ඇතැයි මොරන්තුඩුව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය පනාපිටිය පාර පදිංචිව සිටි යසිරු සම්පත් ප්‍රනාන්දු හා වාද්දුව දෙල්දූව අරියගම පදිංචිව සිටි සංදේශ් සුලෝචන පියරත්න නමැති 18 හැවිරිදි තරුණයන් දෙදෙනා ය.

මියගිය තරුණයන් දෙදෙනා තවත් තරුණයන් හය දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමඟ ගෝනදූව තුඩුව ප්‍රදේශයේ බේකරියක් ආසන්නයේ රාත්‍රී 11ට පමණ රැඳී සිට ඇති අතර එහි සිටි තරුණයකු රෑ බෝ වෙන බැවින් නිවසට යාමට අවශ්‍ය බවට පැවසීමෙන් අනතුරුව මියගිය පොතුපිටිය තරුණයා ඔහු ඇරලවීමට පිටත්ව ගොස් තිබූ බව පොලිසිය කියයි.

මද දුරක් යද්දී යතුරුපැදියේ පසුපස ගමන් ගත් තරුණයා කිසියම් හේතුවකින් අතරමගින් බැස ඇති අතර පැදිකරු නැවත තුඩුව ප්‍රදේශය බලා පැමිණ ඇතැයි පොලිසිය කියයි.

ඔහු පැමිණීමට මද වේලාවකට ඉහත දී එම ස්ථානයට දියගම ප්‍රදේශයේ තරුණයකු යතුරුපැදියකින් පැමිණ ඇති අතර ඔහුගේ යතුරුපැදිය ඉල්ලාගත් මියගිය අරියගම තරුණයා මොරන්තුඩුව දෙසට පැමිණ ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව ඔහුව බැලීම සඳහා මියගිය පොතුපිටිය තරුණයා මොරන්තුඩුව දෙසට යතුරුපැදිය ධාවනය කර ඇති අතර ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි අනෙක් තරුණයාගේ යතුරුපැදිය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අනතුරත් සමග ම සිද්ධිය වූ ස්ථානයට පැමිණි මොරොන්තුඩුව පොලීසියේ නිලධාරීන් බරපතළ තුවාල ලබා සිටි තරුණයන් දෙදෙනා ගෝනදූව රෝහල වෙත ඇතුළත් කළ ද ඒ වන විටත් ඔවුන් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මියගිය තරුණයන් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර මහ රෝහලේ, කළුතර තොටමූන හදිසි මරණ පරීක්ෂක එස්. ඒ. කොමසාරු මහතාගේ මහතාගේ නියෝග මත කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. එච්. අත්තනායක මහතා විසින් සිදු කරන ලදී.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී ජේ. කේ. එස්. කේ. ජයනෙත්ති මහත්වරුන්ගේ උපදෙස් මත

මොරන්තුඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලු‍ම් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමපාල, පොලිස් සැරයන්වරුන් වන 45408 කුලතුංග 10107 ගුණසේකර කොස්තාපල්වරුන් වන 99279 ගයාන් 29279 ජනිත් මහත්වරු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව බිමල් ජයසිංහ, බණ්ඩාරගම ආර්. ඒ. එස්. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment