පත්තර ලොවේ ‘අනුලක්කා’ අද දැයෙන් සමුගනී

134

විශිෂ්ටතම සාහිත්‍යවේදිනියක සහ ප්‍රවීණ ලේඛිකාවක මෙන්ම ජ්‍යෙෂ්ඨතම කාන්තා පුවත්පත් කතුවරියක වූ අභාවප්‍රාප්ත අනුල ද සිල්වා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14දා) සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

අනුල ද සිල්වා මහත්මිය 1941 ජනවාරි 27 වැනිදා අම්බලන්ගොඩ පොල්වත්තේදී උපත ලැබූ අතර මියයන විට අසූදෙවැනි වියෙහි පසුවූවාය. ඇය 1964 වසරේදී තම පළමු නවකතාව “උන්මත්තකයෝ” ප්‍රකාශයට පත් කළාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාණාත්මක ලේඛනය සහ පුවත් පත් කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කළාය. 1964 වසරේදී ගුරුවරියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අනුල ද සිල්වා පසුව ලේක්හවුස් ආයතනට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණි. ඇය ‘මිහිර’ ළමා පුවත්පතේ පූර්ණකාලීන ලේඛිකාවක් බවටද පත්වූවාය.

අනුල ද සිල්වා 1982 වසරේ විජය පුවත්පත් සමාගමේ ‘සිරිකත’ පුවත්පතේ කතුවරිය ලෙස සම්බන්ධවූ අතර වසර කිහිපයකට පසු ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නාය. 1986 දී ලිට්ල් රෝ ප්‍රකාශන සමාගමට එක්වූ ඇය එහි ළමා ප්‍රකාශනයක් වූ ‘හඳ මාමා’ පුවත්පත ආරම්භ කළාය. අනතුරුව විජය පුවත්පත් සමාගමේ කාන්තා සඟරාවක් වන ‘වනිතා විත්ති’ ආරම්භ කිරීමට ඇරයුම් ලද ඇය එහි ආරම්භක කතුවරිය වූ අතර කාන්තාවන් සඳහා ගුවන් විදුලි වැඩසටහන්ද මෙහෙයවූවාය.

නවකතා පරිවර්තන සහ ළමා පොත් ඇතුළු ග්‍රන්ථ 125 කට වඩා සාහිත්‍යයට මුසුවී තිබේ. අද ‘දිවයින’ 8 වැනි පිටුවේ අභාවප්‍රාප්ත අනුල ද සිල්වා මහත්මිය පිළිබඳ විශේෂ ලිපියක් පළවේ.

නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment