සුද්දෝ දෙදෙනෙක් නාවලපිටියේදී පොඩි මැණිකේ දුම්රියේ බීමතින් ජල්ලි අල්ලති

1500

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ පළමු පංතියේ අනවසරයෙන් ගමන් ගත් විදේශිකයන් දෙදෙනකු ඉන් ඉවත් කිරීමට යෑමේදී ඊයේ (05 දා) නාවලපිටිය දුම්රිය ස්ථානයේදී ගැටුමක් හටගෙන ඇත.

මෙම ගැටුම හේතුවෙන් දුම්රිය නාවලපිටියෙන් පිටත්වීම පැය 01යි විනාඩි 17ක් පමණ ප්‍රමාද වී තිබේ.

මෙම දුම්රියට මහනුවරින් විදේශිකයන් පිරිසක් නැග ඇති අතර ඔවුන් පසුව ගම්පොල සහ උලපනේ යන දුම්රිය ස්ථානවලින් බැස ප්‍රවේශපත්‍ර අනුව ඔවුන් ගමන් කළ යුතු නියමිත මැදිරි වෙත ගොස් තිබේ.

එහෙත් විදේශිකයන් දෙදෙනකු පමණක් එලෙස නියමිත මැදිරිවලට නොගොස් වායුසමීකරණය කරන ලද පළමු පංතියේම බලහත්කාරයෙන් ගමන් කර ඇත.

ඔවුනට දිගින් දිගටම වෙනත් මැදිරිවලට යන ලෙස දුම්රිය ආරක්‍ෂක අංශ දැනුවත් කළ ද එම විදේශිකයන් දෙදෙනා ඊට අවනත වී නොමැත.

ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්‍ෂා කළ අවස්ථාවේ ඔවුන් සතුව ප්‍රවේශ පත්‍ර ද තිබී නොමැති අතර පසුව හඳුනා ගැනීම පිණිස ගුවන් ගමන් බලපත්‍ර ඉල්ලුවද ඒවා ද ළඟ තිබී නැත.

දුම්රිය පෙරවරු 10.30ට පමණ නාවලපිටිය දුම්රිය ස්ථානයට පැමිණි පසුව මේ පිළිබඳව දුම්රිය ස්ථානාධිපති විසින් නාවලපිටිය පොලිසිය දැනුවත් කර ඇත.

පෙරවරු 11.00ට පමණ දුම්රිය ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ ඇති අතර ඔවුන් පැවසුවද විදේශිකයන් දෙදෙනා ඊට ද අවනත නොවීම නිසා දුම්රිය ආරක්‍ෂක අංශය පොලිසිය මැදිහත්ව ඔවුන් දෙදෙනා බලහත්කාරයෙන් දුම්රියෙන් බස්සවා තිබේ. අනතුරුව විදේශිකයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්රිය නාවලපිටියේදී ද විනාඩි 50ක පමණ කාලයක් ප්‍රමාද වූ බව නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය ඉහළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

මෙම විදේශිකයන්ගේ නොමනා හැසිරීම හේතුවෙන් දුම්රිය කොළඹට පැමිණෙන විට පැයකුත් විනාඩි 17ක පමණ කාලයක් දුම්රිය ප්‍රමාද වී තිබිණි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment