රනින් සැරසී සිනා සී ආ තරුෂි

201

චීනයේ හැංජො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගී වී රන් , රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිස පෙරේදා (10 වැනිදා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේ ය.

රනින් සැරසී සිනා සී ආ තරුෂි

එම පිරිස පිළිගැනීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන්, වලල ඒ රත්නායක විද්‍යාලයේ ගුරු භවතුන්, ආදී ශිෂ්‍යයන්, ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියේය.

රනින් සැරසී සිනා සී ආ තරුෂි

වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින 18 හැවිරිදි ශිෂ්‍යාවක වන රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා පැමිණි තරුෂි කරුණාරත්න වෙත එහිදී සැමගේ ආකර්ෂණය යොමු වී පැවතුණි.

තරූෂි මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ආසියානු ක්‍රීඩා උළෙලකදී එසේ රන් පදක්කමක් දිනා ගනු ලැබුවේ වසර 21 කට පසුවය. ඇයට පෙර අවසන් වරට ආසියානු රන් පදක්කමක් දිනාගෙන තිබුණේ සුසන්තිකා ජයසිංහයි.

එහිදී සිය අදහස් දැක්වූ තරුෂි කරුණාරත්න මෙසේ පැවසුවාය.

මම මේ තරගාවලිය පිළිබඳව ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. මම ඒ සඳහා ලොකු කැප කිරීම් කරල පුහුණුවීම් කළා. මගේ ජයග්‍රහණය පිළිබඳව මගේ අම්මට, තාත්තට , අයියට සහ නංගිත් වගේම මගේ පාසල, වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයටත් ස්තුති වන්ත වෙනවා යැයි පැවසීය. එසේම මගේ ඊළඟ බලාපොරොත්තුව එළඹෙන 2024 වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා, එම තරගාවලියට ගොස් රන් පදක්කමක් දිනා ගැනීම බව ද තරුෂි කරුණාරත්න පැවසුවාය.

මෙහිදී ඇයගේ මව අදහස් දක්වමින් “මගේ දුව කුඩා කාලයේ සිටම දක්ෂතා දක්වන මට්ටමක සිටියා. මම දැනගෙන සිටියා ඇය මේ වගේ දස්කම් දක්වාවි කියල. ඇයට දිනපතාම වාගේ අභියෝග වලට මුහුණ දෙන්නට සිදු වුණා. ඇය ඒවාට නොබියව මුහුණ දුන්නා” යැයිද පැවසුවාය.

එසේම පැමිණි සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදුවේ, තමන්ගේ මීළඟ බලාපොරොත්තුව එළඹෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා එහිදී පදක්කමක් දිනා ගැනීම බව ප්‍රකාශ විය.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment