මම ණයත් නෑ බයත් නෑ: අද දැයෙන් සමුගන්නා නිහාල් නෙල්සන් එදා ‘දිවයින’ ට කියූ කතාව

1094

ගැයූ සෑම ගීතයකින්ම වස නොවූ රස මැව්වවසර පනස් අටක් පුරා ගී කෙත අටුකොටු පෙරෙව්ව වසර හැත්තෑහයේ ජනතාවාදී ගායකයා වූ නිහාල් නෙල්සන් අද සවස 6.00 ට සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේදී අප සියලුදෙනාගෙන්ම වෙන් වී යයි. ඉතිං යළිඳූ කවදාවත් ඔහුගේ හඬ අපට සජීවව අසන්නට නොලැබේ. නමුත් අතීතයේ ගැයූ ඒ හඬ අපේ හිත්වල රැව්පිළිරැව් දේ. අද අපෙන් සමුගෙන යන නිහාල් නෙල්සන් එදා සිනමා කලා වෙනුවෙන් කළ සංවාදයක් මෙලෙස ගෙන එනුයේ ඒ හඬට අප නුදුරේදීත් ආදරය කරන නිසාමය.

ලස්සනට පිපුණ වන මල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්

ඔහු ගැයූ මුල්ම ගීය… එදා මෙන්ම අදත් එලෙසම ගයන ගායකයෙක් සිටී නම්…. ඒ නිහාල් නෙල්සන්ම පමණි.

මම ණයත් නෑ බයත් නෑ: අද දැයෙන් සමුගන්නා නිහාල් නෙල්සන් එදා 'දිවයින' ට කියූ කතාව

නිහාල් නෙල්සන් ගී ලොවට ආවේ සරත් මුණසිංහ ලියා ආර්. ඒ. චන්‍ද්‍රසේනයන් සංගීතවත් කළ ‘ලස්සනට පිපුණ වන මල් ගල්’ ගීයෙනි. එහි තනුවද නිහාල්ගේ ය. එදා මේ ගීය ලියූ සරත් මුණසිංහ අද මීගහවෙල සුමන ශාන්ත හිමි නමින් පැවිදි වූහ. එදා සිට මේ දක්වා නිහාල් නෙල්සන් ගැයූ ගීත සංඛ්‍යාව පන්දහසකට අධිකය.

මොරටුව රාවතාවත්ත රෝමාණු කතෝලික මිශ්‍ර පාසලේ සහ මොරටු මහා විද්‍යාලයේ ශිල්ප හැදෑරූ කාලයේ පටන් කවි ගීත ගැයූ නිහාල් නෙල්සන්ට එක්තරා දිනෙක මංගල උත්සවයකදී ඒ. ජේ. කරීම් ප්‍රවීණ ගායන ශිල්පියා හමුවිය. එම මංගල සාදයේදී නිහාල් ගී ගැයුවේ කරීම්ගේ සංගීතයටය.

නිහාල් කෙරෙහි පැහැදුණු කරීම් කැන්ඩ් ලේක් ක්ලබ්හි ප්‍රසංගවල ගී ගයන්නට ඔහු කැඳවාගෙන ගියේය. එම ප්‍රසංගවල නිවේදන කටයුතු කළේ කරුණාරත්න අබේසේකරයන් ය. ඔහු නිහාල්ට ගුවන් විදුලියේ ගී ගයන්නට ඉඩකඩ විවර කර දුන්නේය. ඒ අනුව ලස්සනට පිපුණ ගීය ගැයිණි. ඒ 1963 මාර්තු 31 දා ඒ ගීය පළමුවරට ගුවන් විදුලියේ ප්‍රචාරය විය.

මේ වන විට ජන හදවත්වල ලැගුම් ගෙන සිටින නිහාල් ගැයූ කරුණා සුවඳ තවරාලූ….. හද පිපුමේ…. මවු ගුණ ගීය, ඔරු පදින්න, සල්ලි මිටි ගණන්, ඇරපන් කරාමේ, කුක්කු කූක් කූ… වැනි ගීත රැසක් ඉතා ජනප්‍රිය විය. “ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ” ඔහු ගැයූ ඒ ගීය එකල බොහෝ සේ කතාබහට ලක්විය.

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරින් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුණේ
බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ….

නිහාල් මේ ගීය ගැයූ පසු ගවමස් කෑම අත්හැරි පිරිස ඉතා විශාලය.

මම ණයත් නෑ බයත් නෑ: අද දැයෙන් සමුගන්නා නිහාල් නෙල්සන් එදා 'දිවයින' ට කියූ කතාව
ඉන්ද්‍රානි පෙරේරා විවාහ වූ දා ෆ්‍රෙඩී, ප්‍රියා, මිල්ටන් ඇතුළු පිරිස සමග

නිහාල් නෙල්සන් යනු කෙළින් කතා කරන හිත හොඳ මිනිසෙක් බව ප්‍රකටය. ගත වූ වසර පනහ තුළ සාධාරණ මෙන්ම අසාධාරණ විවේචනයන්ට ද මුහුණ දෙමින් ඉදිරියටම ගමන් කරන නිහාල් නෙල්සන් “ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලී” ගීයේ සඳහන් මාලි සමඟ විවාපත් වූවේය. නිහාල්ගේ එකම පුතා කාංචන තරංග නෙල්සන් ගුවන් විදුලියේ ශබ්ද පරිපාලකවරයෙකි. ගැයුමට හා සංගීතයට දස්කම් දක්වන්නෙකි.

නිහාල් නෙල්සන් ගායකයෙකු පමණක්ද? නැත ඔහු ගීත නිබන්ධකයෙකි. සංගීතඥයෙකි. නිහාල් නෙල්සන් තමන්ට වඩා ප්‍රවීණයෙකු බව ප්‍රවීණ සංගීතඥ ගායක වික්ටර් රත්නායකයෝ නිහතමානීව පවසති. එදා නිහල්ගේ පළමු ගීයට වයලීනය වයමින් වික්ටර් ද සහභාගි වී ඇත.

තමන්ටම ආවේණික ශෛලියක් හදාගත් නිහාල් නෙල්සන් මාධ්‍ය සමඟ කවදත් සමීප ඇසුරක් පවත්වන්නෙකි. මාධ්‍ය හිරිහැරයක් කර නොගත් නිහාල් මාධ්‍යයට ද හිරිහැරයක් නොවන්නෙකි. මේ නිහාල් නෙල්සන් ප්‍රවීණ ශිල්පියා සමඟ කළ සාකච්ඡාවකි.

ශාලාවක හිඳ රසවිඳිය හැකි ගීත ද නිහාල් නෙල්සන් ගයා තිබෙන්නේ කියා කවුරු හරි ඇසුවොත්?

මම එහෙම ගීතත් ගයලා තිබෙනවා. මගේ ගීත එළිමහන් ප්‍රසංගවලට විතරක් නොවේ ශාලාවලත් ගයන්න පුළුවන් කියලා මට පෙන්නුම් කරන්න ඕනේ. එළිමහන් ප්‍රසංග වේදිකාව පහත් කර සළකන්න එපා කියා මම ඉල්ලනවා. එළිමහන් ප්‍රසංගයත්, ශාලාවක් තුළ පවත්වන ප්‍රසංගයත් වෙනසක් නෑ. ඒ බව මට පෙන්වන්න වුවමනායි. ගීයක් විඳින්න එන අයට ඕනෑම තැනක එය රස විඳින්න පුළුවන්.

මම ණයත් නෑ බයත් නෑ: අද දැයෙන් සමුගන්නා නිහාල් නෙල්සන් එදා 'දිවයින' ට කියූ කතාව
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදුටු අවස්ථාවක්

ඔබේ ගීතවලට එළිමහන් ප්‍රසංගවලදී තරුණ පිරිස් නටනවා. ඒ විදිහට ගී රස විඳිය හැකිද?

රසවිඳින කෙනාට සද්ද බද්ද ඝෝෂා තිබුණත් නියම රසය විඳින්න පුළුවන්. සවස පහට පිටකොටුව බෝගහ අසල කොතරම් සෙනඟක් ගැවසෙනවාද කියලා ඔබට කියන්න ඕනෑ නැහැ නේ. ඒ වෙලාවට එතැන ඉඳලා මට ගීයක් ලියලා මෙලඩි එකක් දාලා ගායනා කරන්න මට පුළුවන්. ඒ ගීය ජනප්‍රිය වෙන බවත් විශ්වාසයි. ඒක තමයි විඳීම.

ඔබ කෙලින් කතා කරන ගායකයෙක්. බය නැද්ද?

මොනවට බය වෙන්නද? මම බය නෑ…

ඒ නිසා ඔබට පාඩුවක් වෙලා නැද්ද?

පාඩු වුණත් නැතත් මම කිව යුතු දේ කෙළින්ම කියන කෙනෙක්. පාඩු ලාභ මට වැඩක් නෑ. නිතරම මම බලන්නේ සත්‍ය හෙළිකරන්න.

මේ නිසා ඔබ සමග අමනාප වෙන අය ඇති නේ?

යම් වරදක් පෙන්නුවාම ඒ වෙලාවේ අමනාප වේවි. ඒත් මා සමඟ තවම එහෙම කිසි කෙනෙක් අමනාප වෙලා නෑ. පසුව ඔවුන් හරි වැරැද්ද තේරුම් ගන්නවා. වරද දුටු තැන නිකං ඉඳලා මට පුරුද්දක් නෑ. කවුරු හරි මගේ වරදක් කිව්වොත් මම ඒ ගැන හොඳට හිතනවා. ඇත්තටම මම වැරදි නම් ගෞරව පූර්වකව ඒ වරද හදාගන්නවා. වරද පෙන්වා දුන් පුද්ගලයාට එළව එළවා පහර දෙන සිරිත මගේ නෑ. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මාන්නය මගේ ළඟ නෑ. තමන්ගේ ප්‍රතිපත්තිය නිවැරදි බව සහතික නම් කිසිම කොල්කෙක් ළඟ ඇඹරෙන්න වුවමනා නෑ.

පියාගේ ගී ගයන පුතුන්ට ඔබ දොස් කියනවද?

නෑ……. අද අනන්තවත් තාත්තලාගේ ගීත පුත්තු ගයනවා. දොස් කියන්න බෑ. ඕනෑම මවක් සහ පියෙක් කරන්නේ දරුවන් උදෙසා ධනය රැස්කිරීම සහ ඒ රැස්කළ ධනය දරුවන්ට ඉතිරි කර යෑමයි. ඉතින් කලාකරුවකුගේ ධනය තමයි ඔහු හෝ ඇය කළ නිර්මාණ. ඒවා දරුවන්ට අයිතියි. ඒත් ඒ දරුවෝ කල්පනා කළ යුතුයි ඒ ධනය විනාශ කරනවද නැද්ද කියලා. ඒ ධනය යහපත් ලෙස පාවිච්චි කළොත් හොඳයි.

ඔබ තෘප්තිමත්ද?

ඔව්….. මම කලා ක්‍ෂේත්‍රය තුළ බයත් නෑ… ණයත් නෑ මගේ ගමන පාඩුවේ යනවා. මා කළ යුතු දේ කර තිබෙනවා

● අජිත් අලහකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment