දැන්ම නොවික්කොත් නිකම්වත් දෙන්න බැරිවේවි

1539

1993 මුල හරියේදී මැලේසියාව ජාතික ගුවන් සේවයක් පටන් ගත්තේය. එහෙත් මෙහි ගුවන් යානා අහසට නඟින්නේ 1996 දී ය. වසර 2001 සැප්තැම්බර් මාසය වන විට මේ ගුවන් සේවය ණය වී එම ණය ගෙවා ගැනීමට නොහැකිව අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් මෙන් නන්නත්තාර බවට පත් විය. මේ අතර මේ ගුවන් සේවය කාට හෝ විකුණා දැමීමට මැලේසියානු ජනාධිපති මහතීර් මොහොමඩ් කල්පනා කළේ ය. ඒ වන විට ඩොලර් කෝටි එකහමාරක් පමණ රට වටේට ණය වී සිටි මේ ගුවන් සේවය මිලට ගැනීමට කවුරුවත් ඉදිරිපත් වුණේ නැත. එවිට ජනාධිපති මහතීර් මොහොමඩ් විකල්ප අදහසකට ගියේ ය. ඒ වූ කලී මේ ගුවන් සේවය ගුවන් යානා සමූහය ද, එහි සේවකයන් ද, ණය තොගය ද සමඟම ශ්‍රී ලංකාවේ රුපියලක් හා සමාන මුදලකට කාට හෝ විකිණීම ය. එවිට ටෝනි ෆනැන්ඩස් නමැති තරුණයෙක් මේ සඳහා ඉදිරිපත් විය. ටෝනි ෆනැන්ඩස් යනු මැලේසියානු මවක් හා ඉන්දියානු පියෙකුගේ පුත්‍රයා ය. ඔහුගේ පියාගේ මුල් ගම යාපනය විය. කෙසේ හෝ වේවා අවසානයේදී ටෝනි ෆනැන්ඩස් තවත් මිතුරකු හා එක්ව මේ සුවිශාල ගුවන් සේවය ණය වශයෙන් තිබූ ඩොලර් කෝටි එකහමාර ද, ගුවන් යානා තොගය ද, 1000 ක් පමණ වන සේවකයන් ද සමඟ රුපියලකට මිලට ගත්තේ ය. මේ ගනුදෙනුව සිදුවන්නේ 2001 දෙසැම්බර් මාසයේදී ය. 2002 ජනවාරි 15 වැනිදා එයාර් ඒෂියා ගුවන් යානා ආසියාවේ අඩුම ගුවන් ගමන් ගාස්තු සහිත ගුවන් සේවය ලෙස අහස්ගත විය. එයාර් ඒෂියා ගුවන් සේවය සිය ටිකට්පත් විකුණන ලද්දේ අනිත් ගුවන් සේවාවල ටිකට් මිලෙන් දහයෙන් එකකට ය. එම යානා තුළ වැඩි පහසුකම් නැත. වතුර බෝතලය පවා මඟීන්ට නොමිලයේ නොදෙන ලද අතර, මුදලට පමණක් විකිණීම සිදුවිය. බඩගින්නට බනිස් ගෙඩියක්වත් මේ ගුවන් සේවය මගින් මඟීන්ට දුන්නේ නැත. එහෙත් ඉතා අඩු මිලට ලැබෙන ටිකට් එක නිසා මඟීහු මේ ගුවන් සේවයම තෝරාගෙන සිය ගුවන් ගමන් අඩු මිලට සම්පූර්ණ කරගත්හ. අවුරුද්දක් ගත වන විට මේ ගුවන් සේවය මැලේසියාවේ වැඩිම ආදායමක් උපයන ආයතනය බවට පත් විය. අවුරුදු දෙකක් ගත වන විට ආසියාවේ බලවත්ම ගුවන් සේවය බවට පත්වන්නේ එයාර් ඒෂියා ය. අද වන විට මේ ගුවන් සේවය සතුව ගුවන් යානා 255 ක් තිබේ. ගමනාන්ත 165 කට මේ ගුවන් සේවය ස්වකීය යානා යවයි. අවුරුදු 05 ක් තුළ ඩොලර් කෝටි එකහමාරක් වූ ණය සම්පූර්ණයෙන් ම ගෙවා දැමීමට ටෝනි ෆනැන්ඩස් ට හැකි විය. එයාර් ඒෂියා ගුවන් සේවය විකුණන විට මහතීර් මොහොමඩ් සතුව තිබූ ලොකුම පහසුකම වූයේ ඒ අහල පහල ආර්ථික න්‍යායාචාර්යවරුන් නොසිටීම ය. අද වන විට එයාර් ඒෂියා ආයතනය සතුව ඩොලර් මිලියන 19,000 ක වත්කම් තිබේ. එහි වාර්ෂික ආදායම ඩොලර් මිලියන 3304 කි.

අද අප මේ කතුවැකිය ලියන්නේ එයාර් ඒෂියා ගැන නොව ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ගැන ය. ගුවන් යානයක් ගුවන්ගත කිරීමේදී මූලධර්ම තුනක් සම්පූර්ණ විය යුතුය. ඉන් පළමුවැන්න ගුවන් යානයේ බරට වඩා වැඩි බරක් එසවිය හැකි පීඩනයක් හෝ තෙරපුමක් ගුවන් යානය යටින් ඉහළට යෙදීම ය. දෙවැන්න ගුවන් යානය ඉදිරියට ධාවනය කිරීම සඳහා ප්‍රචාලක හෙවත් අවර පෙති ක්‍රියා කරවීම ය. තෙවැන්න ගුවන් යානය නිසි දිසාවට යොමු කිරීම සඳහා යානය පාලනය කළ හැකි උපකරණ තිබීම ය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය අද පවතින තත්ත්වය පිළිබඳව මූල්‍යමය සහ මෙහෙයුම් අර්ථ නිරූපණයක් කිරීම සඳහා ඉහත සඳහන් මූලධර්මයන් භාවිත කළ හැකිය.

ශ්‍රී ලන්කන් ගුවන් යානා ඉහළට එසවීම සඳහා අවශ්‍ය මුදල් බලය එම ආයතනයට නැත. එම යානා ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රචාලක හෙවත් අවර පෙති ලෙස ක්‍රියාකරන පරිපාලනයක් එම ආයතනයේ නැත. තුන්වෙනුව ගුවන් යානය නිසි දිශාවට ගෙන යෑමට අවශ්‍ය සංකල්පීය අරමුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නැත. එසේ නම් කළ යුතු හොඳම දෙය මෙය විකුණා දැමීම ය. එහෙත් මේ ආයතනය සතුව තිබෙන සුවිශාල ණය තොගයත් අති විශාල ශ්‍රමික තොගයත් ධාවනය සඳහා තවදුරටත් සුදුසු නැති යානා තොගයත් රුපියලකට හෝ මිලට ගැනීමට කවුරුත් නොසිටීම ය. එනිසා පසුගිය කාලයේදී මේ ගුවන් සේවය ඉන්දියාවේ ටාටා සමාගමට විකුණා දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. එහෙත් ටාටාකාරයා අන්තිම මොහොතේදී මඟහැරිය බව පෙනෙන්නට තිබේ. අවසාන වශයෙන් සිදුවනු ඇත්තේ මේ ගුවන් සේවය රුපියලකට නොව නොමිලේම කාටහරි දීම ය. හැබැයි එය එසේ කරන්නට ගියහොත් අපේ ලංකාවේ කට්ටියම මැදිහත් වී ගුවන් යානාවල සියලු යකඩ කොටස් ගලවාගෙන ගොස් පරණ කඩයට විකිණීමට ඉඩ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය යනු ඉතා හොඳ චරිතයක් තිබූ ආයතනයකි. මෙය මුලින්ම තිබුණේ එයාර් සිලෝන් ලෙස ය. ඉන් පසු එය එයාර් ලංකා බවට පත් විය. ජනාධිපති චන්‍ද්‍රිකාගේ සමයේදී මෙහි බහුතර කොටස් එමිරේට්ස් සමාගමට විකුණන ලදි. ඒ අනුව මේ ගුවන් සේවය අවුරුදු 44 ක් පැරණිය. සාමාන්‍යයෙන් රුපියල් බිලියන 183 ක පමණ වාර්ෂික ආදායමක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තිබේ. හැබැයි ඔවුන්ගේ ලාභය හැමදාමත් සෘණ මට්ටමේ පවතී. ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව තිබෙන හොඳම වත්කම වූ කලී එහි සිටින ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය වේ. තිබෙන ගුවන් යානා කොපමණ ලදරම් මට්ටමක පැවතුණ ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාර 560 ක් පමණ මෙහෙය වූ ආයතනයකි. ගමනාන්ත 126 ක් එයට තිබිණ. එය ගිය රටවල් ගණන 61 කි. පටන් ගෙන ස්වල්ප කලකට පසු ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉතා හොඳ ලාභ දෙන ආයතනයක් බවට පත් විය. එහෙත් චන්‍ද්‍රිකා ජනාධිපතිනියගෙන් පසු පත් වූ රජය දේශපාලන හේතූන් මත එම ගුවන් සේවය ඩැහැ ගත්තේය. එදා සිට අද දක්වා ම මේ ගුවන් සේවය බංකොලොත් වෙමින් පවතී. දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය මෙය මිලට ගැනීමට කෙනෙක් නැති වීමය. ඉදිරියේදී මේ තත්ත්වය තවත් බරපතළ වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment