පනහට පනහේ වී කතාව

524

නියඟය සහ දුර්භික්‍ෂය අතර වෙනසක් ඇත. එහෙත් මේ දෙක අතර ලොකු සම්බන්ධයක් ද ඇත. නියඟය යනු වැස්ස නැතිවීම නිසා පොළව ඉරිතලා යෑමයි. දුර්භික්‍ෂය යනු මේ පොළොවෙහි තිබූ වගාව විනාශවීම යෑම නිසා හෝ මේ පොළව මත තවදුරටත් වගාකිරීමට නොහැකි නිසා හෝ හටගන්නා ආහාර හිඟයයි. ආහාර හිඟයට අමතරව වසංගත රෝග ද දුර්භික්‍ෂයක ලක්‍ෂණ වෙති. මීට අවුරුදු 100කට ඉස්සර නියඟයක් හටගත් විට ඒ පළාතේ සිටින සතුන් සියලුම දෙනා ද මිනිසුන්ගෙන් භාගයක් ද මිය යති. එහෙත් අද වෛi ආධාර ඉහළ මට්ටමක තිබෙන නිසා ද ආහාර සහනාධාර ආණ්ඩුවෙන් බෙදාහරින නිසාද එවැනි දෙයක් වෙන්නේ නැත. උදාහරණයක් වශයෙන් නියඟය නිසා සම්පූර්ණයෙන්ම වියළී ගොස් තිබෙන අභය භූමිවල සතුන් වෙනුවෙන් වතුර සපයා දීම ආණ්ඩුව ගණනේ සිදුකරනු ලැබේ. විශාල වළවල් හාරා එම වළවල්වල පතුලට සහ කණ්ඩියට ප්ලාස්ටික් කොළ යොදා බවුසර්වලින් ගෙනයන වතුර ඒවාට පුරවා එම අභය භූමිවල කෘතිම ජලාශ සෑදීම සිදුකෙරේ. මේ කාරණා හේතුවෙන් එදා තිබූ දුර්භික්‍ෂය අද වනවිට ඒතරම් ලොකු බලපෑම් සහගත තත්ත්වයක නැත. විශාලා මහනුවර බලගතු දුර්භික්‍ෂයක් හටගත් බවත් ඒ නිසා ආහාර හිඟවී සිව්පාවුන් සහ මනුෂ්‍යයන් මියගොස් පෙරේතයන් බෝවී ලොකු අවුලක් සිදුවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. අද වනවිට දුර්භික්‍ෂයට තැනක් නැතත් නියඟයට හිමි තැන එසේමය. එබැවින් සහල් හිඟයක් හටගැනීමට ද නියමිතය. ආණ්ඩුව කුමක් හෝ මැච් එකක් ගසා සල්ලි ටිකක් හොයාගෙන පිටරටින් සහල් ගෙන්වා ජනතාව අතර බෙදාහැරියොත් නියඟයෙන් සිදුවිය හැකි හානි අවමකර ගැනීමට හැකිවනවා ඇත.

ආහාර අර්බුධයක පෙරනිමිති මතුවී තිබුණත් ඊට මුහුණදීම සඳහා වී අලෙවි මණ්ඩලය සතුව ඇත්තේ සතියකට ප්‍රමාණවත් වී තොග යැයි වී අලෙවි මණ්ඩලයේ සභාපතිතුමා සිකුරාදා ‘දිවයින’ට පවසා ඇත. වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකා 9ක් ඉදිරිපත් කළත් තවමත් මුදල් නොලැබුණ බව සභාපතිතුමා කියා තිබේ. වී අලෙවි මණ්ඩලය සතුව රටපුරා වී ගබඩා 356ක් තිබේ. ඒවායේ වී කිලෝ කෝටි ගණනක් ගබඩා කළ හැකි නමුදු වී අලෙවි මණ්ඩලය සතුව දැනට ඇත්තේ වී කිලෝ හතළිස් පන්ලක්‍ෂයකැයි හෙළිව තිබේ. මහ කන්නයේදී වී අස්වනු වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගෙන ගබඩා කළේ නම් වී මෙටි්‍රක් ටොන් ලක්‍ෂ තුනක් ගබඩා කිරීමට පුළුවන. එහෙත් මුදල් ප්‍රශ්නය නිසා එයද කරගැනීමට හැකිව නැත.

වී යනු මනුෂ්‍යයා විසින් මුලින්ම වගා කරන ලද ධාන්‍ය වර්ගය වේ. මෙයට අවුරුදු දහ දොළොස්දහසකට පෙර ප්‍රාථමික මනුෂ්‍යයා වගාවක් ගැන දැන සිටියේ නැත. ඔවුන් කළේ ආහාර භෝග ඇති තැන්වලට ගොස් ඒවා නෙළාගෙන සිය වාසස්ථාන වෙත පැමිණ අනුභව කිරීමය. මේ කියන කාලයේදී ආසියාවේ වනාන්තරවල තෙත් බිම් පුරා ගොයම් ගස් පැළවී තිබිණ. ගොයම් ගස්වල ඇති වීවල පොත්ත ඉවත් කර තම්බා ආහාරයට ගත හැකි බව දැනගත් ප්‍රාථමික මනුෂ්‍යයා ගොයම් ගස් තොගපිටින් කපාගෙන වාසස්ථාන කරා ගෙනවුත් වී ඇටවල පොතු ඉවත් කර ආහාරයට ගත්හ. මේ අතර වී පොතු තම වාසස්ථානය අසල තැනකට විසිකිරීමට ඔවුහු පුරුදුව සිටියහ. වැසි කාලය පැමිණි කල්හි මේ වී පොතු අතර තිබූ වී ඇට පැළවෙන්නට පටන්ගත්තේය. එය දුටු ප්‍රාථමික මිනිසුන් කිසියම් භූමි ප්‍රදේශයක් තෝරාගෙන වී ඇට එහි අතුරා වැසි කාලය තෙක් බලා සිටින්නට වූහ. වැස්සට ගොයම් පැළවූ අතර එම ක්‍රමය අදටත් ගොඩ වී වගාව ලෙස හඳුන්වනු ලැබේ. කෙසේ වුවද අවසානයේදී මුළු මහත් ආසියාවම බත් කන්නට පුරුදු විය. ඊට අමතරව යුරෝපයේ සියලුම රටවල ජනයා ආහාර ගන්නාවිට සයිඩ් ඩිෂ් එකක් හැටියට බත් අනුභව කිරීමට පුරුදුව සිටිති. මේ නිසා හදිස්සියකදී රටවල් බොහොමයකින් වී ගෙන්වා ගැනීමට ඕනෑම රටකට පුළුවන. ලෝකයේ වැඩියෙන්ම පරිහරණය කරන ධාන්‍ය වර්ගය වන්නේ තිරිඟුය. දෙවැනි තැන ලැබෙන්නේ සහල්වලටය.

සහල් යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආහාරය වෙයි. හැම ගෙදරකම අවම වශයෙන් එක වේලක් හෝ බත් අනුභව කෙරේ. මීට අවුරුදු 60කට පෙර පාන්වලට එතරම් තැනක් මේ රටේ තිබුණේ නැත. ඒ නිසා මේ රටේ ජනයා තුන් වේලම බත් කෑමට පුරුදුව සිටියහ. ඒ කාලයේදී ලංකාව යනු ගැමි රාජ්‍යයකි. රටේ භූමි ප්‍රමාණයෙන් සියයට අනූපහක්ම ගම්මානවලින් සමන්විත වූ අතර නගර තිබුණේ සියයට පහක් පමණි. නගරයේ සිටි ජනයා උදයට පාන් ගිල දැමූ අතර දවල්ටත් රෑටත් බත් අනුභව කළහ. ගැමියා උදේට බත් කෑවේ එක එළවළුවක් සමඟය. දවල්ට එම එක එළවළුව එළවළු දෙකක් විය. රෑට ගෙදර අය සියලුම දෙනා මහන්සි වී පැමිණෙන බැවින් එළවළු තුනක් සහ මසක් මාළුවක් සාදා බතක් උයන ලදී. මේ අනුව බත් යනු මේ රටේ ජනතාවගේ ප්‍රධානතම කාබෝහයිඩ්‍රේට් සපයන්නා බවට පත්ව ඇත.

මේ අතර එළැඹෙන මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් මේ රටේ ඇති සහල් තොග සහ වී තොග පරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසා තිබේ. රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ධාන්‍ය පිළිබඳ ප්‍රමුඛ ඇස්තමේන්තුව ඇත්තේ ඉහත සඳහන් ආයතනය අතය. එය නිතරම වෝහාරික විගණනයකින් පසු ලබාගන්නා තක්සේරු වාර්තා අනුව ආහාර තොග පිළිබඳව ප්‍රකාශ නිකුත් කරයි. මේ නිසා අපි වී සම්බන්ධයෙන් සියයට පනහට පනහේ තත්ත්වයකට පැමිණ සිටිමු. වී නැති බව කියන්නේත් ආණ්ඩුවේ ආයතනයකි. වී ඇති බව කියන්නේත් ආණ්ඩුවේ ආයතනයකි. අවසන් විග්‍රහයේදී මේ ප්‍රශ්නය විසඳන්නට සිදුවන්නේත් ආණ්ඩුවටය.

advertistmentadvertistment
advertistmentadvertistment