විශාලතම සන්ධානය ඉදිරියේදී ගොඩනගනවා – නව සන්ධානයේ පළමු ජනරැළියේදී නිර්මාතෘ නිමල් ලාන්සා කියයි

228

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම නව සන්ධානයේ ඒකායන අරමුණයි – ඇමැති නලින් ප්‍රනාන්දු

ජනතාව සමග දේශපාලන සෙල්ලම් දැමීමට කිසිවෙකුටත් අයිතියක් නෑ – ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත

නව සන්ධානයක් බිහි වන්නේ ජනතාව දූෂිත දේශපාලනයෙන් මුදවා ගැනීමට‍යි – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

විශාලතම මන්ත්‍රී සංඛ්‍යාවක්, විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කරලා විශාලතම සන්ධානය ඉදිරියේදී ගොඩ නගන බව නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලාන්සා මහතා පවසයි.

නව සන්ධානය ‍‍ගොඩනැගීම වෙනුවෙන් 27දා ජා ඇල නගරයේ පැවති පළමු ජනරැළිය අමතමින් නිමල් ලාන්සා මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා

ඉතිහාසයේ පළමු වතාවට ලාංජනයක් නැතිව, පක්ෂයක් නැතිව වැඩසටහනක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් විශාල ජනතාවක් ඒකරාශී වෙලා තියෙනවා. නායකයෙක්, නායකත්ව මණ්ඩලයක් නැතිව අපගේ ආරාධනය පිළි අරගෙන පැමිණීම ගැන අපගේ ස්තූතිය ජනතාවට පිරිනමනවා. අද සමහර දේශපාලනඥයෝ කටින් බතල හිටවනවා. පපුව පලලා දෙන්න කතා කරන්නේ. හැබැයි පපුව දෙන්නෙ නැහැ. සතපහක් දෙන්නෙත් නැහැ. කල්පනා කරලා බලන්න මේ අය පසුගිය කාලය තුළ ව්‍යාපාරිකයෝ, දේශපාලනඥයෝ විදියට ජීවත් වුණා. ඒ කිසිම කෙනෙක් ඔබලට උදව් කරලා නැහැ. ඇහුම්කන් දීලා නැහැ. කොරෝනා අවස්ථාවේ, පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ උදව් කරලා නැහැ. මුකුත් කරලා නැහැ. හැබැයි වේදිකාවේ පපුව පළලා දෙන්න හදනවා. ඇහුම් කන් දුන්නේ, ප්‍රශ්න විසඳුවේ, උදව් කළේ කවුද කියලා ජනතාව තේරුම් ගන්න ඕනේ.

මෙතෙක් ආපු දේශපාලන ගමන පසුගිය අවුරුදු දෙක තුළ ආපස්සට ගියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වෙලා ටික කාලයකින් අවුරුදු 30 ක දේශපාලනය ආපස්සට ගියා. ගෝඨාභය රාජපක්ෂ ගේද්දී මම කිව්වා දේශපාලනය දන්නේ නැති, තේරෙන්නේ නැති මෙතුමව ගේන්න එපා කියලා. තරහට නෙමේ කිව්වේ. රටේ උගත්තු, වියත්තු, ව්‍යාපාරිකයෝ එතුමව ගේනාවා. ගෙනල්ලා කිව්වේ පාර්ලිමේන්තුවේ නැති, දේශපාලනය නොකරන කෙනෙක් ගේන්න ඕනේ කියලා. ගෙනල්ලා මොකද වූනේ. එතුමා වටේ සමහර වියත්තු, උගත්තු ටික එකතු වෙලා පළවෙනි වැඩේ හැටියට බදු අඩු කරන්න උපදෙස් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවංකව කළත් මේ උපදෙස් දුන්නේ නාලක ගොඩහේවා. දැන් සජිත්ට උපදෙස් දෙනවා. අපේ අවුරුදු 30 ක දේශපාලනය නැති කළා. අපි මිනිස්සුන්ට උදව් කරලා, ඇහුම් කන් දීලා, වැඩ කරලා ගොඩ නගාගත්ත දේශපාලනය නැති කළේ නාලක ගොඩහේවා වගේ සමහර උගත්තු.

අද මේ සන්ධානයට නායකයෙක්, පක්ෂයක්, ලාංජනයක් නැතිවුනාට පාර්ලිමේන්තුව තුළ විශාලතම මන්ත්‍රී සංඛ්‍යාවක්, විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කරලා විශාලතම සන්ධානය නිර්මාණය කරනවා. අපි සන්ධානය නිර්මාණය කරද්දී පෙන්නුවා මේ රටේ ගොඩක් පක්ෂ තියෙනවා බෝඩ් කෑලි විතරයි. නායකයෝ ඉන්නවා. කොළඹ ප්‍රවෘත්ති සාකච්ජා විතරයි. මිනිස්සු නැහැ. අද අපි පෙන්නුවා පක්ෂ නැහැ, පාට නැහැ, ජාති නැහැ, මුකුත් නැති වුනාට ජනතාව ලක්ෂ සංඛ්‍යාත ගණනාවක් මේකට ගොනු වෙලා ඉන්නවා කියලා. ඒ නිසා අපි මේ රටේ ප්‍රගතිශීලි ජනතාවට කියනවා සත්‍ය, ඇත්ත, යථාර්ථය කියන අපේ නව සන්ධානයත් එකක් එකතු වෙන්න කියලා. බොරු කියලා බලයට ආවත් ඉන්න පුලු‍වන් මාස තුනයි.

අනුර කුමාර මහත්තයා ප්‍රමුඛ ජනතා විමක්ති පෙරමුණේ ආර්ථික වැඩපිළිවෙළ. ගාල්ල ඉදන් කොළඹට පියයුරු පෙන්වමින් කාන්තාවන් ආවම සංචාරකයෝ වැඩි වෙනවලු‍. මේ ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙළද? එහෙම සංචාරකයෝ ගේන්න පුලු‍වන්ද? ආගමට,දහමට, සංස්කෘතියට ලැදි කාන්තාවට මේ දේ කියන්න එපා. ඒක ඒ අයගේ කාන්තාවන්ට කියන්න කියලා කියනවා. අනිත් පැත්තෙන් ගණිකා වෘත්තිය නීති ගත කරනවලු‍. අපි කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන එකයි, කාන්තාවන් පියයුරු පෙන්වමින් ඇවිදිනවා කියපු එකයි ඉල්ලා අස්කරගන්න කියලා. එහෙම නැති වුනොත් අනුර කුමාරගේ කටින් ඒක ඉල්ලා අස්කර ගන්නා තුරු පැලවත්ත කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරනවා. කාන්තාවන් සමග ගිහින් පැලවත්ත කාර්යාලය වටලනවා. අපි මේකට අභියෝග කරන්න ඕනේ. අපේ හාමුදුරුවනේ පිරිත් නූල් බැන්දම විසි කරනවා. ආගම දහම එපා කියලා කියනවා. මේ අය තමා අරගලවල හිටියේ. සංස්කෘතිය විනාශ කරන්න එන ජනතා විමුක්ති පෙරමුණ මේ රටින් තුරන් කරන්න ඕනේ.

අපිත් එක්ක මේ නව සන්ධානයට පක්ෂ 28 කට වැඩියෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 කට එහා අපි එක්ක සාකච්ජා කරනවා. අපිට පුලු‍වන් වෙනවා ලංකාවේ දැවැන්තම සන්ධානය හදලා, වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්න හැම ආසනයකම ජන ගංගාවක් එකතු කරලා ඊළඟ බලය නායකයෙකුට නොව නායකත්ව මණ්ඩලයකට ප්‍රජාතන්ත්‍රවාදීව ලබා දෙන්න.

වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා

රටේ ආර්ථිකය දියුණු කර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම නව සන්ධානයේ ඒකායන අරමුණයි. මේ රටේ දේශපාලන ක්‍රමය පිළිබඳ අද ජනතාවට ඇත්තේ කළකිරීමකි. එම නිසා ජනතාව දේශපාලන යෙන් ඈත්වීමක් පෙනේ. නමුත් මෙම ජන රැලිය දිහා බලන විට පෙනීයන්නේ ජනතාව දේශපාලනයෙන් ඈත් වීමට කැමැත්තක් නැති බවයි. ජනතාවට ඇති එකම ප්‍රශ්නය වන්නේ තමන්ට දේශපාලනය කිරීමට සුදුසු තැනක් නොමැති වීමයි. එම නිසා ජනතාව තුළ ඇති එම අඩුව පිරවීමට හැක්කේ නව සන්ධානයට පමණයි.

අධ්‍යපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා

මෙරට දේශපාලනය හා ආර්ථිකය ගොඩනැගීම උදෙසා තවදුරටත් අත් හදා බැලීම් අනවශ්‍යයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒකාබද්ධව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මකයි. මේරට ගොඩනැගීම තම සන්ධානයේ පරම අභිලාශයි. පසුගිය කාලයේදී ඇතැම් නායකයින් අපෙන් රටට සේවයක් සලසා ගත්තෙ නෑ. පවුල්වාදය හා දේශපාලනය පිළිබඳ ඇති අත්දැකීම් අඩුකම එයට හේතුවකි. කොරෝනා වසංගතය නිසා රටේ ආර්ථික ගමන් මගේ සියයට පනහක් වසා දමන්නට එකළ සිදු විය. නමුත් ඉන් අනතුරුව ආර්ථිකය කඩිනමින් නගාසිටුවීමේ වැඩපිළිවෙළක් නොවූ නිසා මෙරට ජනතාවට අවාසනාවන්ත අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු විය. ජනතාව විඳිය යුතු උපරිම දුක් ගැහැට විඳ අවසන්‍ව ඇත. තවදුරටත් ජනතාව සමග දේශපාලන සෙල්ලම් දැමීමට මෙරට දේශපාලනයේ නිරත කිසිවෙකුටත් අයිතියක් නොමැත.

පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා

මේ රටේ දේශපාලනය තවදුරටත් පවුල් දේශපාලනයෙන් ඉදිරියට යාමට නොහැකියි. නව දේශපාලන සන්ධානයක් බිහි වන්නේ මෙරට ජනතාව දූෂිත දේශපාලනයෙන් මුදවා ගැනීමට‍යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉවත්කිරීම වැනි දේශපාලන පොරොන්දු විපක්ෂය ලබා දුන්නද ඒවා කිසිවක් කළ හැකි ඒවා නොවේ. ඉන්දියාව ආසියාවේ දැවැන්තයකු බවට පත්වූයේ එක්තරා අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් ලබාගනිමින් මනා ආර්ථික කළමනාකරණයකින් කටයුතු කළ නිසයි. දේශපාලනයේ නිරතවූවන් අවංක විය යුතුයි. ලංකාව වැනි රටකට ආර්ථිකය පිළිබඳ අත්හදා බැලීම් අවශ්‍ය නෑ.

advertistmentadvertistment
advertistmentadvertistment