නිම නොවුණු කාබනික පොහොර අර්බුදය

167

නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කරන ලද, චීන සමාගමකින් ඇනවුම්කර තිබුණු කාබනික පොහොර නැව සඳහා ගෙවන ලද මුදල ආපසු ගෙවන ලෙස හෝ එම මුදලේ වටිනාකමට සරිලන ලෙස පොහොර තොගයක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමට මේ දක්වා අදාළ චීන සමාගමෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ කර තිබුණි.

කෙසේවෙතත්, ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර තොගය වෙනුවට, එම වර්ගයේම කාබනික පොහොර තොගයක් ලබාදීමට හැකි බවට මීට පෙර කරුණු ඉදිරිපත් වී තිබුණත් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිදු කරුණු තහවුරු කිරීමක් සිදු වී නොමැත.

වර්ෂ 2021/2022 මහ කන්නය සඳහා කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 96,000ක් (මෙටි්‍රක්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 446 ක මිලකට) චීනයේ සීමාසහිත කින්ඩාඕ සිවින් බයෝටෙක් සමූහ සමාගමෙන් ආනයනය කිරීමට සැලසුම් ක්‍රියාත්මක කොට තිබුණි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයක් අනුව කාබනික ගොවිතැන මෙරට තුළ ප්‍රචලිත කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි.

ඒ අනුව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 446 ක මිලකට ආනයනය සඳහා චීනයේ සීමාසහිත කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම තෝරාගෙන තිබුණි. නිර්දේශිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක තොගයෙන් සියයට 60ක් ලංකා පොහොර සමාගම විසින් හා සියයට 40ක් කොමර්ෂල් පොහොර සමාගම මගින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි.

මෙම කාබනික පොහොර තොගයට අදාළව සාම්පල පරීක්ෂාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධායන සේවය මගින් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නොරුවේ පිහිටි රසායනාගාරයක් මගින් සිදු කෙරිණ. තවත් සාම්පලයක් කාර්මික තාක්ෂණ ආයතනය මගින් ද පරීක්‍ෂා කොට තිබුණි.

මෙහිදී අනාවරණය වී තිබුණේ අදාළ පොහොර තොගය ජීවානුහරණය කර නොමැති බවයි. මේ අතර ජාතික ශාක නිරෝධායන සේවය මගින් සිදුකළ පරීක්‍ෂණයට අනුව අර්වීනියා හා බැසිලස් යන හානිකර බැක්ටීරියාවන් අදාළ සාම්පල තුළ අඩංගු බවට වාර්තා වී තිබුණි. නමුත් සැපයුම්කාර චීන පොහොර සමාගම විසින් ක්ෂුද්‍රජීවි අඩංගු නොවන ජීවානුහරණය කළ පොහොර ලබාදෙන බවට සහතික වී තිබුණි. එහෙත් සැපයුම්කාර චීන පොහොර සමාගම විසින් ගිවිසුමේ සඳහන් කොන්දෙසි උල්ලංඝනය කරමින් චීනයේ කින්ඩාඕ වරායේ සිට කොළඹ වරයාට පොහොර මෙට්‍රික් ටොන් 20550ක් එවා තිබුණි.

අවසානයේ රජයේ පොහොර සමාගම් දෙක මගින් ගිවිසුම් ප්‍රකාරව පොහොර සැපයුම්කරු විසින් කටයුතු කර නොතිබූ බැවින් සැපයුම්කරුට එරෙහිව කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේදී නඩු පවරනු ලැබීය. අදාළ සැපයුම්කරු වෙත ණයවර ලිපි මත ගෙවීම් වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පොහොර සමාගම් දෙක විසින් අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබීය. අධිකරණය මගින් ගෙවීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය. අවසානයේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සිද්ධීන් සැලකිල්ලට ගනිමින් සැපයුම්කරු විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් නඩුව සමථයකට පත්කරනු ගනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නැව්ගත කිරීම පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් ගෙවීම් පැහැර හරින ලද ශ්‍රී ලංකාවේ මහජන බැංකුව අසාදු ලේඛනගත කරන ලදී. ශාක රෝග කාරක සොයාගැනීමේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් චීන සමාගම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක නොවන හඳුනාගැනීමේ ක්‍රමය සහ නිගමනය ජාත්‍යන්තර සත්ව හා ශාක නිරෝධායන සම්මුතීන්ට අනුකූල නොවන බව අවධාරණය කර සිටියේය. චීන සමාගම සිංගප්පූරුවේදී ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියා පටිපාටියක් ද ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ තීරණය හේතුවෙන් සිය කීර්ති නාමයට, හොඳ හිත සහ අනාගත ව්‍යාපාරික අපේක්ෂාවන් අහිමි වීම සඳහා වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් ඉල්ලා සිටිමිනි.”

චීනය එහිදී සිය ජාතික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට කටයුතු කළා මිසක් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ සාධාරණ කරුණු කාරණා කිසිදු තැකීමකට භාජන නොකරන ලදි. අවසානයේ එම කාබනික ගොවිතැනට සම්බන්ධ කරුණු කාරණා හේතුවෙන් රටේ සමස්ත කෘෂි කර්මාන්තයම අගාධයකට ඇදවැටුණු අතර ඉන් සමස්ත ලාංකිකයන්ටම වන්දි ගෙවීමට සිදු විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටින්නේ තමා අමාත්‍ය ධුරය භාරගත් දිනයේ සිටම මෙම පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා පැවැත්වූ බවයි. එහිදී කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර ලබා ගැනීමට උපරිම උත්සාහයක් ගත් බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, අදාළ සමාගම මේ දක්වා ඊට එකඟතාවක් පළ කර නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. ඒ අනුව කාබනික පොහොර සඳහා ගෙවූ මුදල් යළි ආපසු ලබා ගැනීමේ අපහසුතාවට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අවසානයේ චීන පොහොර තොගයේ පිරිවැයෙන් සියයට 75ක් සඳහා නොසැපයූ පොහොර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9 කට සමාන රුපියල් මිලියන 1382ක අත්තිකාරම් මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු විය. මෙම පොහොර ගනුදෙනුව නිසා රජයට වී ඇති පාඩුව රුපියල් මිලියන 1382කි. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින මෙරට ජනතාවට පොහොර ගනුදෙනුවේ පාඩුව ද දැරීමට සිදුව ඇත. මෙහිදී සැලකිය යුතු අනික් කාරණය වන්නේ සමථ කොන්දේසි අනුව අපේක්ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දේසියක් අදාළ සමාගමට පනවා තිබුණත් මේ දක්වා ප්‍රමිතියෙන් යුත් පොහොර ඇටයක්වත් අදාළ සැපයුම්කාර සමාගම විසින් මෙරටට ලබා දී නොතිබීමයි.

● ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment