මාවනැල්ල සභාපතිගේ තනතුර අත්හිටුවයි

156

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ආර්. පී. එන්. ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ඒ මහතාගේ ධුරය පෙබරවාරි මස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇත.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව 2023/02/14 දින අංක 2319/38 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ධුරය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉන්පසුව ඇති වූ පුරප්පාඩුව සඳහා ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි උප සභාපති ලෙස කටයුතු කළ කෝරලේ ගෙදර පියතිස්ස මහතා පත් කර ඇත.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ආර්. පී. එන්. ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කර ඇත්තේ සබරගමු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පහත කරුණු පිළිබඳව සිදුකරන ලද විමර්ශනයකට අනුවය. ඒ අනුව ඔහුට එරෙහිව ඇති චෝදනා වනුයේ

  • ගොඩනැඟිලි කමිටුව විසින් අනුමැතිය ලබාදිය නොහැකි බව සඳහන් කෙරූ පිඹුරු සැලසුම් හා ගොඩනැඟිලි සැලසුම් අවධිමත් හා නීත්‍යානුකූල නොවන පරිදි අනුමත කිරීම.
  • නාගරික සංවර්ධන අධිකාරියේ අණපනත්වලට අනුකූල නොවන පරිදි ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීම.
  • නාගරික සංවර්ධන අධිකාරි පනතේ හා නියෝග මාලාවේ සඳහන් අවශ්‍යතා සපුරා නොතිබූ පිඹුරු සැලසුම් අනුමත කිරීම.
  • ගොඩනැඟිලි කමිටුව විසින් අනුමත කිරීමට තීරණ ලබා ගැනීමක් සිදු කර නොතිබියදී පිඹුරු සැලැස්මක් අනුමත කිරීමට අල්ලස් ලබාගැනීමට සැකපිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම යන ඒවාය.

2018 පැවති පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ චන්දන ජගත් කුමාර මහතා සභාපති ලෙස පත් විය.

2022 මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වීම හේතුවෙන් චන්දන ජගත් කුමාර මහතා සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉවත් කරනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම මැතිවරණයට තරග වැදී ජයග්‍රහණය කළ ආර්. පී. එන්. ස්ටීවන් මහතා සභාපති ධුරය සඳහා පත් විය.
මාවනැල්ල – ජයන්ත සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment