වසර 72කට පෙර දැයට අහිමි වූ ජාතියේ පියා ඩී. ඇස්.

81

ඩී.ඇස්. පාසල් වියේදී අධ්‍යාපනික වශයෙන් දස්කම් නොදැක්විය. ඔහුගේ දක්ෂතාවය තිබුණේ ක්‍රීඩාවටය.

මල්ලවපොර වලට ඔහු බොහෝ ලෙසින් රුචිකත්වයක් දැක්වූයේය

ගත වෙහෙස කර වැඩ කිරීමට ඔහු තරම් දක්ෂ අයකු ගම් ප්‍රදේශය තුළ නොවීය

කුඹුරු වැඩවලදී ගොන් බානත් සමග කුඹුරට බසින ඩී.ඇස්. කුඹුරු සී සෑවේ තමාගේ රළු කට හඬින් සී පද කියමිනි. ගොයම් කපා පෑගීමටද ඔහු දක්ෂයෙක් විය

එරගම උළු මෝල, හිඟුරාන සීනි කම්හල, චවල කඩේ හාල්මෝල ඉඟිණියාගල විදුලි බල මෙහෙයුම එම කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතියෙන් ලැබුණු ඇතුරු පල ප්‍රයෝජනයන් වේ

අතීතයේ විසූ මෙරට ජනතාව තුළ තිබූ විශ්වාසයක් වූයේ දියසෙන් නැමති බෝසත් කුමරෙකු මෙරට උපත ලබා ජාතියටත්, දේශයටත්, මහ ජනතාවටත්, ආගම දහමටත් සුවිශාල සේවයක් කරන බවය. කලින් කලට අනාවැකි කීවත් රටට සුවිශාල සේවයක් කළ නියම දියසෙන් උපන්නේ 1884 ඔක්තෝබර් 20 වැනිදා මීරිගම බෝතලේ වලව්වේදීය.

ඔහු දියසෙන් නමට බොහෝ සබඳතාවක් තිබෙන දොන් ස්ටීවන් සේනානායක හෙවත් ලෝකයම හඳුනන ඩී. ඇස්. ය. ඩී. ඇස් යන්න දියසෙන් නාමයේ කෙටි නාමය බව අපේ සමාජයේ සිටි පැරැන්නන් කියනවා මට මතකය. බෝතලේ වලව්වේ විසූ දොන් ස්පේටර් සේනානායක සහ කැතරින් එළිසබෙත් පෙරේරා දෙපළට උපන් එම පවුලේ පිරිමි ළමුන් තිදෙනා අතර බාල පුතණුවන් වූ දොන් ස්ටීවන් සේනානායක මහතා අප රටට නිදහස ලබා ගන්නා පෙරමුණේ රාළ වේ යැයි දෙමාපියෝ සිහිනෙන්වත් නොසිතූහ. නොසිතන දේ සිදුවන බව කියැවෙන දහමට අනුව ඔහු පෙරමුණේ රාළ පමණක් නොව රජකමට පත්වී රජුන් තනන්නෙකු ලෙසද තම ක්‍රියාකාරකම් ලොවට පසක් කළහ.

ඩී.ඇස්. පාසල් වියේදී අධ්‍යාපනික වශයෙන් දස්කම් නොදැක්වූහ. ඔහුගේ දක්ෂතාවය තිබුණේ ක්‍රීඩාවටය. මල්ලවපොර වලට ඔහු බොහෝ ලෙසින් රුචිකත්වයක් දැක්වූයේය. ගත වෙහෙස කර වැඩ කිරීමට ඔහු තරම් දක්ෂ අයකු ගම් ප්‍රදේශය තුළ නොවීය. තම පියාගේ ඉඩම්වල පොල් පැළ සිටුවීමේදී කම්කරුවන් සමග තරගයට පොල් වළවල් කපා ජයගත්තේ ඩී. ඇස් ය. කුඹුරු වැඩවලදී ගොන් බානත් සමග කුඹුරට බසින ඩී.ඇස්. කුඹුරු සී සෑවේ තමාගේ රළු කට හඬින් සී පද කියමිනි. ගොයම් කපා පෑගීමටද ඔහු දක්ෂයෙකු විය. කපා වී කර ගෝනි වලට පුරවන අස්වැන්න බර කරත්තයෙන් ගොන් බානක් බැඳගෙන ගෙදරට ගෙනාවේ ඔහු අතිනි. කරත්තය මඩේ එරුණ විට කෙවිට පසෙක තබා මඩේ එරුණ රෝදය දෑතින් ඔසවා හරකුන්ට සන් කර විට ඉදිරියට ගියේ ඩී. ඇස් ගේ පිහිටෙනි. උදේට එළදෙනුන් තුන් හතර දෙනෙකුගේ කිරි දොවා, තනියම කිරි බෝතලයක් උණු කර කිතුල් හකුරු කැබැල්ලක් සමග පානය කරන මේ වීර්යවන්ත තරුණයා නිවසේ ඇත් ගාලේ වැඩ ද, අශ්ව ගාලේ වැඩ ද සොයා බැලුවේය.

වසර 72කට පෙර දැයට අහිමි වූ ජාතියේ පියා ඩී. ඇස්.

පාසල් අධ්‍යාපනය අටවන ශ්‍රේණියෙන් අවසන් කළ ඩී.එස්. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වශයෙන් සේවයට බැඳී කටයුතු කරන සමයේ එහි සේවය කරන සුදු ජාතික නිලධාරියකු සමග ඇති කරගත් හබයක් නිසා රැකියාවෙන් ඉවත්ව අවුත් පූර්ණකාලීන වැවිලි බෝග වගාවන්ටත් කෘෂිකර්මයටත් සිත යෙදුවේ දක්ෂ තරුණයකු වශයෙනි.

එකල මෙරට පැවැති ඉංග්‍රීසි ආණ්ඩුවේ පිළිවෙත් පිළිකෙව් කළ මෙම තරුණයා තමාගේ රට ජාතිය ආගම තම වැරයෙන්ම නිදහස් කර ගැනීම තමා සතු පරම යුතුකම ලෙස සැලකුවේය. මේ අනුව ඔහු සිය කටයුතු ආරම්භ කළේ තම ගම් දනව් හරහා හමායන අධිරාජ්‍යවාදීන් අප රටට හුරු පුරුදු කර මත්පැන් වසංගතය දුරලීම සඳහාය. 1912 දී පමණ ශ්‍රී ලංකා අමද්‍යප සභාව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අරඹන විට එහි මූලික ප්‍රධානීන් අතර ඩී.එස්. සේනානායක මහතා උන්හ.

ඒෆ්.ආර්. සේනානායක ඩී. සී. සේනානායක අනගාරික ධර්මපාල, බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන, ආතර් වී දියෙස්, දොස්තර ආතර් ද සිල්වා ආදී ජන ප්‍රධානීන් මෙහි නායකත්වය ගෙන කටයුතු කිරීම නිසා ලංකාව පුරා ඇති වූ මත්පැන් විරෝධය ඉංග්‍රීසි ආණ්ඩුවට මහත් වූ හිසරදයක් විය. මෙලෙස කටයුතු කරමින් වසර කිහිපයක් ගතවන විට 1915 දී ඇති වූ අවාසනාවන්ත සිංහල මුස්ලිම් ජාතිවාදී කෝලහාලය ඉංග්‍රීසි ආණ්ඩුවේ මන දොළ සංසිඳුවන්නක් විය. මෙම ජාතිවාදී කෝලහාලය තුළින් එයට අනුබල දෙන්නන් ලෙස අමද්‍යප සභාව හඳුන්වා දුන්නේය. ඉංග්‍රීසීන්ගේ

මෙරට පාලකයන් අමද්‍යප ව්‍යාපාරයේ සියලුම නායකයන් මේ රට තුළ සිටියදී සිර භාරයට ගත් අතර අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ සිටි හෙයින් එතුමා එහි නිවාස අඩස්සියට පත් කළහ. එඩ්වඩ් හෙන්රි පේදිරිස් තරුණයා යුද්ධාධිකරණයෙන් වරදකරු කර ප්‍රසිද්ධියේ වෙඩි තබා මරන්නට යෙදුණි.

මේ ක්‍රියාවනට එරෙහි වූ සිංහල දෙමළ නායකයන් ලංකා ජාතික සංගමය ආරම්භ කර ලංකාවට දේශපාලන නිදහස දිනා ගැනීමට එකතු වූයේ එක මවකගේ දරුවන් ලෙසය.

මෙම පිරිස අතර ඩී.එස්. සේනානායක මහතා සුවිශේෂී චරිතයක් විය. ලංකා ජාතික සංගමය ගෙන ගියේ ඉංග්‍රීසි ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙත අත්තනෝමතික පාලන ව්‍යුහයට එරෙහි සටන්වල ප්‍රතිඵලයක් ලෙස මීට වසර සියයකට පෙර 1924 වසරේදී සිංහල දෙමළ මුස්ලිම් යන ජන වර්ග තුනටම නියෝජිතයන් පත් කර ගත හැකි අන්දමට එතෙක් පැවතියේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කරන ලදී.

ඒ අනුවයි එතෙක් පැවති නිලලත් මන්ත්‍රීවරු 12 දෙනාට අමතරව නිල නොළත් මන්ත්‍රීවරු ද පත් කිරීමට තීරණය කළ ලංකා ඉංග්‍රීසි ආණ්ඩුව 1924 වසරේ අගෝස්තු 29 වැනිදා එතෙක් තිබූ ව්‍යවස්ථාදායක සභාව විසිරුවා හරින ලදී. ඒ අනුව ජනතාවගේ ඡන්දයෙන් නිල නොළත් මන්ත්‍රීවරු පත් කර ගැනීම සඳහා 1924 ඔක්තෝම්බර් 24 වෙනිදා පැවති මන්ත්‍රී තරගයට ඩී.එස්. සේනානායක මහතාද මීගමුව ඡන්ද කොට්ඨාසයට ඉදිරිපත් විය.

නමුත් ඩී.එස්. සමග කිසිවකු තරගයට නොපැමිණි නිසා ඔහු නිතරඟයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත්විය. ඒ අනුව 1924 සිට 1952 දක්වා වසර විසි අටක් ව්‍යවස්ථාදායක සභාව, රාජ්‍ය මන්ත්‍රණ සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ සේනානායක මහතා මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු, අගමැතිවරයකු වශයෙන් අප රටට සිදු කළ සේවාව කිසිම මැති ඇමැතිවරයකුට අප රට තුළ සම කළ නොහැකි බව අවිවාදාත්මකය.

වසර 72කට පෙර දැයට අහිමි වූ ජාතියේ පියා ඩී. ඇස්.

1931 වසරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් වැඩ භාරගත් ඩී.එස්. මෙරට වනග්‍රහණයෙන් වැසී ගිය පුරාණ ගම් සහ වැව් අමුණු යළි පිළිසකර කර යළි ගොඩනැංවීමට ගත් අප්‍රතිහත ධෛර්ය සුළු පටු නැත. සමහර ගම් දනව්වලට ඩී.එස්. ගියේ පා ගමනින්මය. ඇතැම් ගම්වලට ගියේ ගොන් බැඳි කරත්තයෙනි. මිණිපේ ජනපදය සහ ජලාශය ගොඩනැගීමට ඒ ගැන සොයා බැලීමට මහ වනයේ සැරිසරුවේ අලියකුගේ පිටි උඩ නැගය. ඇතැම් ප්‍රදේශවල අශ්වයා පිට නැග ගිය ඩී.එස්. එසේ ගිය සෑම ගමනක්ම සාර්ථක කර ගත්තේ දේව වරමක් ලද අයකු ලෙසිනි.

මිණිපේ, ඇළහැර, කාගම, බකමූණ, මින්නේරිය, කන්තලේ ආදී ගොවිජනපද ආරම්භ කළ නව කෘෂිකර්ම ඇමැතිවරයා ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලුම ජනතාව නියෝජනය වන පරිදි නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය තුළ ගොඩනැංවූ මහා සංවර්ධන කෘෂි ව්‍යාපෘතිය ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ජාතියට දායාද කළේය. එරගම උළු මෝල, හිඟුරාන සීනි කම්හල, චවල කඩේ හාල්මෝල ඉඟිණියාගල විදුලි බල මෙහෙයුම එම කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතියෙන් ලැබුණු ඇතුරු පල ප්‍රයෝජනයන් වේ. ඒ සමග නටබුන් වී ගිය පැරණි වෙහෙර විහාර ද නැවත ගොඩනැංවීමට අඩිතාලම දැමූ ඩී.එස්. හින්දු, ඉස්ලාම් ආගමිකයන් වෙනුවෙන් තම ආගමික මධ්‍යස්ථාන ගොඩනැංවීමට පිහිටුවිය.

රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ අවසන් කරමින් ගොඩනැගෙමින් තිබුණු සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය හරහා එයට මුහුණ දීමටද 1946 එක්සත් ජාතික පක්ෂය පිහිටු වූයේ එවකට අප රට තිබූ බොහොමයක් ජාතික ආගමික සංවිධාන එකතු කර ඔවුන් සැමගේ දායකත්වය හා සහභාගිත්වය ලබා ගනිමිනි. ඒ අනුව ලංකා ජාතික සංගමය, බණ්ඩාරනායක මහතාගේ සිංහල මහ සභාව, එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට එක් වූ ප්‍රධානම ජාතික සංවිධානය විය. ඊට අමතරව ලංකා යෝජනා සංගමය, මැලේ සංගමය, කම්කරු සංගමය, ද්‍රවිඩ සංගමය නව පක්ෂයට එකතු විය. 1947 වසරේ ජූලි 23 වැනිදා සිට අගෝස්තු විස්ස දක්වා දින දහනවයක් තිස්සේ පැවති ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සියලුම වාමාංශික දේශපාලන පක්ෂ හා උතුරේ ජනවාර්ගික පක්ෂ පරදවා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් රැසකගේ ද ස්වාධීන මන්ත්‍රීවරු පිරිසකගේ ද සහය ලබාගත් ඩී.එස්. නව රජය පිහිටුවා ලංකාවේ ප්‍රථම අගමැති ධුරයට පත් වූයේ සුවහසක් ජනතාවගේ සතුටු කඳුළු මතය.

එම මැතිවරණයේදී ඩී.එස්.ට සහය දුන් පූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ නාහිමියන් වැනි ස්වාමින් වහන්සේලා නව රජය බුද්ධ ශාසනය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පැවසුවත් ඩී.එස්. එයට එකඟ නොවුණේ අනාගතය දක්නා නුවණ මුල්කරගෙනය. ඒ අනුව සියලුම ජාතීන් ආගමිකයන් එක්රැස්කර තැනූ රජයකින් එක ආගමකට සුවිශේෂී වරප්‍රසාද දීමෙන් රජයත්, රටත් අනතුරට පත්වන අයුරු වටහා දුන්නද උන්වහන්සේලා එය පිළිනොගත්හ. එයින් පසු බණ්ඩාරනායක මහතා රජයෙන් එළියට ගෙන පංච මහා බලවේගය මතුකර ගොඩනැඟූ රජය අවසන් වූයේ නායකයාත් අමු අමුවේ ඝාතනය කරවා ගනිමින්ය. ඒ සමග ජාතික වශයෙන් භාෂා වශයෙන් ආගම් වශයෙන් බෙදා වෙන් වුණු රටේ ජනතාව අද එක මතයකට ගෙන ඒමට නොහැකි වී තිබීම රටේ පරිහානියට හේතුවක් වී ඇත.

1947 දී පිහිටුවන ලද ඩී.එස්. ගේ රජය දෙවැනි වරට මහ මැතිවරණයකට පිවිසිය යුතුව තිබුණේ 1952 අගෝස්තු මාසය තුළය.

වසර 72කට පෙර දැයට අහිමි වූ ජාතියේ පියා ඩී. ඇස්.
වසර 72කට පෙර දැයට අහිමි වූ ජාතියේ පියා ඩී. ඇස්.

නමුත් ඊට මාස කිහිපයක් තිබියදී 1952 මාර්තු 22 වැනිදා ඩී.එස්. සේනානායක මහතා තමාගේ චිත්‍රා නමැති අසුපිටින් බිමට ඇද වැටී හදිසියේ දිවංගත වූයේ ලක්මෑණියන් පැමිණි ගමන් මග ආගාධයකට ඇද දමමිණි. ඩී.එස්.ගේ දූරදර්ශී නායකත්වය මඟපෙන්වීම එතුමාගේ දෙවන පෙළ නායකයන් නිර්මාණය කිරීම දෙස බලන විට එතුමාගේ ඇමැති මණ්ඩලයේ සිටි ඩඩ්ලි, සර් ජෝන්, බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන යන අය අප රටේ රාජ්‍ය නායකයන් විය. බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වූ සිරිමා මැතිනියද එම දෙපළගේ දියණිය වූ චන්ද්‍රිකා මැතිණියද අප රට පාලනය කර අතර ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග රනිල් වික්‍රමසිංහ යන නායකයන්ද මේ රටේ නායකත්වයට පත්වීම විශේෂ සිද්ධියකි. මේ අනුව බලන කල ඩී.එස්. යනු රජුන් තනන රජෙකු විය. ඩී.එස්. අප රටට හඳුන්වා දුන් කෘෂි ආර්ථික ප්‍රතිපත්තිය ගොවිජනපද ගොඩනැංවීම වාරිමාර්ග ශිෂ්ටාචාරය මෙරට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට අදටත් වලංගුය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අනුව රටට ගැළපෙන නව සියවසට ඔබින කෘෂි විප්ලවයකට වර්තමානයේ සැලසුම් කරනුයේ ඩී.එස්. එදා දැමූ පදනම මත සිටගෙනය.

මේ රට, දැය, සමෙය් පිනට වාසනාවට බිහි වූ යුග පුරුෂයකු වූ ඩී.එස්. සේනානායක ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති හෙවත් ජාතියේ පියාණන් ඔබ අප සැමට සමුදී වසර හැත්ත දෙකක් සපිරෙන මේ මොහොතේ එතුමාගේ නාමය සිහිපත් කිරීම රටටත් දැයටත් සමයටත් ඉටු මතුරක් බව කිව මනාය.

වසර 72කට පෙර දැයට අහිමි වූ ජාතියේ පියා ඩී. ඇස්.

වජිර අබේවර්ධන (පාර්ලිමේන්තු මන්ත්‍රී),
එක්සත් ජාතික පක්ෂ සභාපති,
ස්වදේශ කටයුතු හා අභ්‍යන්තර සහ පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍ය.

advertistmentadvertistment
advertistmentadvertistment