අධික උෂ්ණත්වය නිසා වික්ටෝරියා සහ රන්දෙණිගලින් දිනකට ජලය මිලිමීටර් 8 ක් වාෂ්ප වෙනවා

72

මධ්‍යම පළාත් වාරිමාර්ග ඉංජිනේරු කියයි

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල ජලාශවලින් දිනකට මිලිමීටර් 08ක පමණ ඝනත්වයෙන් යුක්ත ජල ධාරිතාවක් වාෂ්පීයකරණයට ලක්වන බව මධ්‍යම පළාත් කලාප වාරිමාර්ග ඉංජිනේරු දිනේෂ් සුමනසේකර මහතා පවසයි.

මිනිපේ මහා වාරි ව්‍යාපාරයට ජලය ලබාගන්නා එම මව් ජලාශවල සමස්ත ජල ධාරිතාවෙන් 88% ක් මේ වන විට පවතින බවත් වාෂ්පීකරණ නිසා ඇතැම්විට ඉදිරියේදී කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය හිඟවීමේ හැකියාවක් මතුවනු ඇති බවත් පැවසූ ඒ මහතා නිසි ජල කළමනාකරණයක් සිදුකරමින් වගා කටයුතු සිදුකළ යුතු බව ද පැවසීය.

වාරිමාර්ග ඉංජිනේරුවරයා එම අදහස් පලකළේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කන්න රැස්වීමේදී ජලය භාවිතය පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ලබන යල කන්නය සඳහා ජලය මුදාහැරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිත අතර අධික සූර්ය රශ්මිය හමුවේ සිදුවන වාෂ්පීකරණය හා පොළවට උරා ගැනීම හේතුවෙන් ජලය සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවන බව ද ඒ මහතා කීවේය. මිනිපේ වාරි ව්‍යාපාරයේ කිලෝ මීටර් 74ක් දිගැති ඇළ මාර්ගවලින් ද ජලය අපතේ යෑමක් සිදුවන බව කී ඒ මහතා මිනිපේ ඇළ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ඇළ මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කළ බවත් ඒ අනුව එම ව්‍යාපාරයේ ඇළ මාර්ග පද්ධතියෙන් තුනෙන් එකක් මේ වන විට සංවර්ධනය කොට ඇති බවත් පැවසීය.

මෙවර කුඹුරු අක්කර 22,000ක් වගා කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ඒ මහතා පෙර කන්න රැස්වීමේදී ගොවියන් පැමිණි එකඟතාවන් අනුව නියමිත වගා කාලසටහනට අනුව වගා කිරීමෙන් අස්වනු හානියකින් තොරව සාර්ථක යල කන්නයක් පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි ද කීය. ඉකුත් කන්නයේ නියමිත කාලසටහනකට වගා කළ බැවින් දේවහූව ජලාශය ආශ්‍රිතව අක්කර දහසක අතිරේක භෝග වගාවක් ආරම්භ කිරීමට හැකි වූ බව ද කලාප වාරිමාර්ග ඉංජිනේරු දිනේෂ් සුමනසේකර මහතා කියා සිටියේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කන්න රැස්වීමට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් එෆ්. ආර්. එම්. රියාල්දීන්, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ, මිනිපේ වැඩබලන ප්‍රාදේශීය ලේකම් නුවන් හේමකුමාර, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් ඩී. එම්. ටී. යූ. දිසානායක, මිනිපේ නේවාසික ව්‍යාපාර කළමනාකාර එස්. එච්. එල්. දයාපාල යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ගුන්නෑපාන – ජානක සම්පත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment