මාරයා යක්‍ෂයා සහ නත්තල

676

ලංකාවේ කතෝලික සභාව සහ රජය අතර බලගතු ආරවුලක් පවතින අවස්ථාවක තවත් නත්තලක් උදා වී තිබේ. මේ ආරවුල පටන් ගන්නේ පාස්කු බෝම්බ පිපිරීමත් සමඟය. පාස්කු බෝම්බය පුපුරුවන ලද්දේ උග්‍ර ඉස්ලාමීය අන්තවාදී කල්ලියකි. ඒ අය බෝම්බය පිපිරුවාට එම පිපිරීම සැලසුම් කළේ ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගෙන ඒම සඳහා තුන්වැනි පාර්ශ්වයක් විසිනැයි මතයක් මේ රටේ පැතිර ඇත. මේ නිසා බෝම්බය පිපිරූ දවසේ මේ රට පාලනය කළ යහපාලන ආණ්ඩුව ගැනත් ඊළඟට බලයට පැමිණි ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව ගැනත් මේ රටේ කාදිනල්තුමාට කිසිදු පැහැදීමක් නැත. පාස්කු බෝම්බය සම්බන්ධයෙන් වින්දිතයන්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත් අපරාධකරුවන්ට දඬුවම් දිය යුතු බවටත් ලෝකවාසී කතෝලික ප්‍රජාවගේ මතය වේ. ලංකාවේ කාදිනල්තුමා එම මතයේ ස්වදේශීක නියෝජිතයා ය. මේ කාරණය සම්බන්ධයෙන් උන්වහන්සේ කතෝලික ප්‍රජාවට උත්තර බැඳිය යුතු ය. එසේම වතිකානයට ද උත්තර බැඳිය යුතු ය. මෙය ලෝකයේ කිසිම කාදිනල්කෙනෙකු අපේක්‍ෂා නොකරන මට්ටමේ මළකරදරකාරී තත්ත්වයකි. පාස්කු බෝම්බය සම්බන්ධයෙන් කාදිනල්තුමා සෑහීමකට පත්වන ආකාරයේ විසඳුමක් නැතිව නත්තල් දවස් ගණනාවක් ම පසුවී ඇත. මේ නිසා ඇතැම් කතෝලිකයන්ට අනුව පාස්කු බෝම්බය පිපිරුණු දා සිටම නත්තල් දවස දුක් සහගත දවසකි. ඇතැම් කතෝලිකයෝ නත්තල් දවසේ ආගමික කටයුතුවල යෙදීම හැර පාටි අංශයේ සුඛය නොවිඳිති.

ලෝක ඉතිහාසයේ මුල්ම නත්තල එළිපිට සමරනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 336 දෙසැම්බර් 25 වැනිදා ය. කිතු උපතින් බොහෝ කලක් යනතුරු කතෝලිකයන් නත්තල සමරන ලද්දේ රෝම ආණ්ඩුවට හොරෙනි. එයට හේතුව ඒ වන විට රෝම ආණ්ඩුව සූර්ය දෙවියන් ප්‍රමුඛ බහු දේවවාදී ආගම් ඇදහීමය. මේ පිස්සුව ඊජිප්තු රාජ පරම්පාරාවට ද තිබිණ. ඔවුහු ද සූර්යයා දෙවියකු ලෙස සලකා ඇදවූහ. ඇත්තටම සූර්යයා දෙවියෙක් ද? අපගේ වැටහීම නම් සූර්යයාට භෞතික විද්‍යාත්මක දේවත්වයක් තිබේ. මුළු මහත් සෞරග්‍රහ මණ්ඩලයම පවතින්නේ සූර්යයා නිසා ය. පෘථිවිය සරුසාර භූමියක් වී ඇත්තේ හිරුරැස් නිසා ය. සූර්ය රශ්මියේ තිබෙන D විටමින් හමට හොඳ ය. මේ පහසුකම් අපට ලැබෙන්නේ සූර්යයාගෙන් නිසා එයට දෙවියන් යන නම පාවිච්චි කිරීමේ වරදක් නැත. එහෙත් ඊජිප්තුවේ රාජ පරම්පරාව සූර්යයා ගැන හිතුවේ තනිකරම විඥානවාදී ලෙස ය. ටූටන්කාමන් රජතුමා ගැන බොහෝ දෙනා අසා ඇත. ඔහුගේ පියා විවාහ වූයේ පියාගේම සහෝදරිය සමඟ ය. මෙය ව්‍යාභිචාරයක් වුවද පැරණි ඊජිප්තුවට ඒ ගැන අදහසක් නොවී ය. අයියාගේ සහ නංගීගේ පුතා වූ ටූටන්කාමන්ට උප්පත්තියෙන් ම මීමැස්මොරය හිමිවිය. නව යොවුන් වියට පත් වූ ටූටන්කාමන් ඊජිප්තුවේ රජතුමා වශයෙන් පිරමීඩ් ගොඩනඟන හැටි නැරඹීම සඳහා කාන්තාරයේ ගිනි අව්වේ ඇවිද්දේ ය. මෙවිට අධික සූර්ය රශ්මිය නිසා ඔහුගේ මොළයේ වයර් මාරු වූ අතර විවිධ වර්ණ පෙනෙන්නට පටන් ගත්තේය. මෙය මීමැස්මොර රෝගියකු අව්වේ යන විට උදා විය හැකි අවස්ථාවකි. ටූටන්කාමන් අසිහියෙන් විවිධ වර්ණ ගැන කතා කරන විට ඔහුගේ ගෝලයන් සිතුවේ ඔහු දිව්‍යලෝකය සමඟ ගනුදෙනු කරන බවකි. රෝම රාජ්‍යයේ තිබූ සූර්ය වන්දනාව ද මෙවැනිම වාතයක් විය. කිතු දහම විසින් මේ විකාරවලට දැඩි ලෙස පහර දෙන නිසා හිරු දෙවියන් ඇදහූ රෝම රජවරු කතෝලිකයන්ගේ බෙලි කපන්නට පටන් ගත්හ. ක්‍රිස්තු වර්ෂ 336 වන විට රෝමයේ රාජ්‍ය තන්ත්‍රය තුළට කතෝලික විශ්වාසය කාන්දු වී තිබිණ. රෝමන් වැසියන් එම අවුරුද්දේ දෙසැම්බර් 25 වැනිදා නත්තල් උත්සවය ලෝකයේ එළිපිට සමරන්නේ ඒ නිසා ය.

නත්තල යනු ත්‍යාගශීලිත්වයේ දවසකි. එදාට අතේ සල්ලි තිබෙන මිනිහා විසින් නැති මිනිහාට කවර හෝ ආකාරයකින් උදව්වක් කළ යුතු ය. එවිට ඒ උදව්ව ලබන මිනිසාට ද නත්තල සැමරීමට හැකි වේ. මේ අතර අරක්කු බීගෙන මස් පුච්චා කමින් ගෝත්‍රික ලක්‍ෂණ පෙන්වා යකා නටන පාටිකාරයෝ ද සිටිති. නත්තල සමරන හොඳ මිනිසුන් නියෝජනය කරන්නේ දෙවියන් ය. නත්තල සමරන නරක මිනිසුන් යක්‍ෂයාගේ නියෝජිතයෝ වෙති. බුදු දහමේ වසවර්තී මාර දිව්‍ය පුත්‍රයාට ඇති තැන ද කතෝලික දහමේ යක්‍ෂයාට තිබේ. ඕනෑම බුදුවරයකු පරිනිර්වාණයට ගෙන යෑමට මාර දිව්‍ය පුත්‍රයාට පුළුවන. එසේම ඕනෑම සාන්තුවරයකු මරණයට පත් කිරීමට යක්‍ෂයාට පුළුවන. මේ නිසා ජනතාව හැම උත්සවයකදීම බැලන්ස් ලෙස කටයුතු කළ යුතුය. මන්ද පාටි මේසයේ මාරයා සහ යක්‍ෂයා යන දෙදෙනාම ඉඳගෙන සිටිති.

රාමසාන්, සිංහල අවුරුද්ද, වෙසක් උත්සවය, දීපාවලී, නත්තල යන සියලු උත්සව මේ රටේ සංස්කෘතිය සමඟ බැඳී පවතී. කොපමණ අතේ සතේ නෑ කීවද මේ දවස්වල රසකැවිලි එකක් හෝ දෙකක් සාදා දවල්ට හොඳ කෑම වේලක් ගැනීම මේ රටේ බහුතර ජනතාවගේ සිරිත වී තිබේ. අවුරුද්ද පුරාම නැති සල්ලි මේ උත්සව දවස්වලදී කොහෙන් හෝ මතුවෙයි. මිනිසා යනු කියන තරම් අවාසනාවන්ත සත්ත්වයෙකු නොවේ. හැමට සුබ නත්තලක් වේවා!

advertistmentadvertistment
advertistmentadvertistment