සංජය සුයම්බුනාඩා හින්දු ආගමිකයෙකි. ඔහුගේ මව් භාෂාව දෙමළය. විසිදෙහැවිරිදි හෙතෙම ශ්‍රී ලාංකිකයෙකි.
සංජය වෘත්තියෙන් නිරූපණ ශිල්පියෙක් හැටියට කටයුතු කරයි. එමෙන්ම ඔහු ඡායාරූප ශිල්පියෙක් සහ පරිවර්තකයෙක් හැටියට ද කටයුතු කරන්නේය.
සංජය, තරුණ ක්‍රියාකාරීන්ගේ සාමූහිකය නියෝජනය කරන තරුණ ක්‍රියාකාරිකයෙකි. විවිධ වූ සමාජ සේවා කටයුතු සඳහා ක්‍රියාකාරීව සහභාගි වන තරුණයෙක් වන සංජය සුයම්බුනාඩා LGBTQI ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය චරිතයක්ව ඇත්තේය. ඔහු කියන කතාවේ සමස්තය පිළිබඳ පැහැදිලි විවරණයක් කරන්නේය.

මම එක රාමුවකට කොටුවෙන්න කැමති නැහැ - සංජය සුයම්බුනාඩා

මුලින්ම දැනගන්න කැමතියි, ඔබ ඔබව හඳුනාගෙන තිබෙනවාද කියන කාරණය ගැන?

ඇත්තටම මම කවුද කියලා ඇහුවම මම මෙහෙමයි කියලා මට එක නිර්වචනයක් දෙන්න බෑ. මම කැමති නෑ එක රාමුවකට කොටුවෙලා ඉන්න. ඒ නිසා මම කවුද කියලා තාම හොයනවා.

ඔබ ඔබව හඳුනාගන්නා මේ ගමනේදී ඔබ මුහුණ දෙන අභියෝග මොනවාද?

ඇත්තටම පොදු ස්ථානවල මම එහෙම අභියෝග වලට මුහුණ දෙන්නේ නෑ. කවුරුවත් මට මොනවත් කියයි ද, කරයි ද වගේ ප්‍රශ්න මට නෑ. මම මගේ පාඩුවේ මගේ වැඩකටයුතු කරගෙන යනවා. හැබැයි මගේ හැඟීම් එක්ක මට අභියෝගයක්, අරගලයක් තියෙනවා. මගේ හැඟීම් මොනවගේද කියලා තේරුම් ගන්න තැන මට අභියෝගයක් තියෙනවා. මම කවුද කියලා හොයන තැනදිම තමයි ඔය ප්‍රශ්නයත් මට මතුවෙන්නේ.

ඔබ ඇයි LGBTQI අයිතිවාසිකම් ගැන හඬනඟන්න තීරණය කළේ ?

ඇත්තටම අපි දන්නවා මේ වෙනකොට LGBTQI අයිතිවාසිකම් ගැන වැඩකරන සමාජ ක්‍රියාකාරීන් ගොඩක් ඉන්නවා. හැබැයි ඒ බොහෝදෙනකු අපිට අයිතිවාසිකම් ඕන කියල අපිව විශේෂ කරගන්නවා. නැත්නම් අපිව කොටුකර ගන්නවා. මට ඕන එහෙම නෙමෙයි. මට ඕන අපි හැමෝම සමාන අයිතිවාසිකම් තියන මිනිස්සු කියන සංකල්පය ගේන්නයි. මම මොන වගේද කියල කියනකොට මට මං ගැන විශ්වාසයක් ගොඩනැඟෙනවනේ. ඒක අපි හැමෝම තුළ තියෙන්න ඕන. ගොඩක් අයට තමන් ගැන ඒ විශ්වාසය නැති වුණාම තමයි අනිත් අයට චෝදනා කර කර ඉන්නේ. මම කවුද කියලා හඳුනාගෙන මම මං විදිහට හිටියම, එහෙම මේ ගැන විශේෂ කරලා කතා කරන්න දෙයක් නෑ. හැබැයි අපිට සමාජයේ මනුස්සයෙක් විදිහට ජීවත් වෙද්දි ගොඩක් අවශ්‍යතා තියෙනවා. අන්න ඒ දේවල් ගැන අපි අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. ඉතින් ඒ දේවල් ගැන මාත් කතා කළ යුතුයි, පෙනී සිටිය යුතුයි කියලා හිතල තමයි මම මගේ හඬ අවදි කරන්න තීරණය කළේ.

මම එක රාමුවකට කොටුවෙන්න කැමති නැහැ - සංජය සුයම්බුනාඩා

සමාජය තුළ මතභේදාත්මක කාරණයක් ගැන හඬනගද්දි ඔබට ප්‍රශ්න මතුවෙයි කියලා හිතුනෙ නැද්ද?

මට එහෙම හිතුණා. මට විශ්වාස අය එක්ක මං ඒ ගැන කියලත් තියෙනවා. අනිවාර්යයෙන්ම එහෙම ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. මං ඒ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට මම මං කැමති විදිහට ඉන්න කෙනෙක්නේ. කවුරුහරි මං වැරදියි කිව්වොත්, මං ඇත්තටම වැරදියි කියලා දැනුණොත් මං ඒ වැරැද්ද හදා ගන්නවා. හැබැයි අරයා මෙහෙම කියයි, මෙයා මෙහෙම කියයි කියලා හිත හිත හිටියොත් මට කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ. ඒ ඕන දේකට මුහුණ දෙන්න බලන් තමයි මම මේ ගැන කතා කරන්න තීරණය කළේ.

ඔබ දමිළ තරුණයෙක්. සංස්කෘතිකමය වශයෙන් LGBTQI ප්‍රජාව ගැන ඇති මතවාද මොනවාද?

ඇත්තටම කිව්වොත් අපේ ආගමේ එහෙම වෙනස්කොට සැලකීමක් සිද්ධ වෙන්නේ නෑ. අපේ ආගමේ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ට විශාල පිළිගැනීමක් තියෙනවා. හොඳම උදාහරණයක් තමයි චෝල පාලන සමයේ ගොඩනැඟුණු කෝවිල්. අපේ කෝවිල්වල සමරිසි දර්ශන නිරූපණය වන පිළිම පවා තියෙනවා. ඉතින් අපේ ආගම හරියට අධ්‍යයනය කරන අය එහෙම LGBTQI ප්‍රජාවේ අය වෙනස්කොට සැලකීමකට ලක් කරන්නේ නෑ. අමුතු දෙයක් විදියට සලකන්නේ නෑ. මේ ගැන නිවැරදි හැදෑරීමක් නැති අය තමයි, ඒක වැරදි දෙයක් විදියට සලකන්නේ. වැරදි මතවාද පතුරවන්නේ. කලක් ඉන්දියාවෙත් මේ ගැන හරි වැරදි කතිකාවතක් ගොඩනැගුණා. නමුත් දැන් එහෙම නෑ. ඒ ගැන හින්දු ආගමේ විවෘතවම කතා කරනවා.

ඔබ දකින විදිහට ප්‍රජාවක් ලෙස අයිතිවාසිකම් දිනාගැනීමේ ඇති අවශ්‍යතාවය මොකක්ද?

අවශ්‍යතාවය ගැන කතා කළොත් අවශ්‍යතාවයන් නම් ගොඩක් තියනවා. අපි මේ ගැන ගොඩක් කතා කරලත් තියනවා. දැන් බලන්න සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට පොදු වැසිකිළි භාවිතා කිරීමේදී ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙනවා. සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී පවා ගොඩක් අපහසුතා වලට මුහුණ දෙන්න වෙනවා. හිතන්න, අපෙන් කරදරයක් නැත්නම් නමුත් අපිට අනිත් අයගෙන් කරදර වෙනවා නම්, ඒක අපිට දරාගන්න අමාරුයි නේද? අපි කියන්නේ මේ අපිට ගරු කරන්න කියලා නෙමෙයි. අපිට සාමකාමීව සමාජයේ ජීවත්වෙන්න ලැබීමත් අපේ අවශ්‍යතාවක් තමයි. පොදු ස්ථානයකදී අපිට කරදර සිද්ධ වෙනවා නම් ඒක වැරදියි නේද? පෞද්ගලිකවම මට එහෙම ප්‍රශ්න නෑ. නමුත් අපේ සමාජයේ අනිත් අයට මෙවැනි ප්‍රශ්නවලට අනන්තවත් මුහුණ දෙන්න වෙනවා. තමන්ට කැමති විදිහට අඳින්න නෑ, ගල් ගහන අය ඉන්නවා, කුණුහරුපෙන් බණින අය ඉන්නවා.

මම පැහැදිලිවම කියන කාරණයක් තමයි, අපි හරි විදිහට ඉන්නවා නම්, මං අනිත් කෙනාගේ නිදහසට ගරු කරනවා නම් මටත් ඒ නිදහස, ගෞරවය ලැබෙන්න ඕන. ඇත්තටම කිව්වොත් මේ ගැන කතා කරන්න ගත්තොත් මේක පුළුල් පරාසයක විහිදෙන මාතෘකාවක්.

LGBTQI ප්‍රජාවේ තරුණයෙක් විදිහට ඔබ අපේ රට තුළ සුරක්ෂිත ද?

ඇත්තම කිව්වොත් නෑ.

ඔබ දකින විදිහට ප්‍රජාවක් ලෙස සමාජය තුළ ස්ථාවරව රැඳෙන්න නම් ප්‍රජාවේ සාමාජිකයන් තුළින්ම සිදුවිය යුත්තේ මොනවාද?

අපි ප්‍රජාවක් විදිහට සමාජය තුළ ස්ථාවර වෙන්න නම් මුලින්ම අපේ ප්‍රජාව තුළින් අපිට හොඳ සහයෝගයක් ලැබෙන්න ඕන. මොකද අපි අපේ ප්‍රජාව වෙනුවෙන්ම ඉදිරිපත් වෙලා තමයි මේ වැඩ කරන්නේ. මම කතා කරන්නේ මම වෙනුවෙන් නෙමෙයි, අපි වෙනුවෙන්. දැන් අපේ තරුණ ක්‍රියාකාරීන්ගේ සාමූහිකයේ අපි හැමෝම එකතු වෙලා තියෙන්නේ අපේම අයගේ අයිතිවාසිකම් වෙනුවෙන්. අපි හැමෝම එකතු වුණාම අපිට ශක්තියක් තියෙනවා. ඉතින් අපි හැමෝටම මේ ගමන යන්න ශක්තියක් දෙන්න.

ඒ වගේම අපේ ප්‍රජාවේ සාමාජිකයන්ට පුළුවන් සමාජයේ පොදු අරමුණු වෙනුවෙන් සමාජය එක්ක එකමුතු වෙලා වැඩ කරන්න. ඇත්තටම අපි ඒකට සූදානම්. අරගලයේදී වුණත් අපි එහෙම සමාජයේ හැමෝම එක්ක එකතු වුණා. අරගලය කාලයේ අපි Pride සමරනකොට අපිට සමාජයේ අනිත් අයගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.

චමෝදරී ලක්ශානි

advertistmentadvertistment
advertistmentadvertistment