පාතාලය – මත්ද්‍රව්‍ය ජුනිවලින් ඉවරයි – ඇමැති ටිරාන් අලස්

561

යුක්තිය මෙහෙයුමට ජනපතිගේ පූර්ණ ආශිර්වාදය

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවත් එබැවින් කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (21දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි ‘යුක්තිය‘ මෙහෙයුම ආරම්භ කළේ. මෙම කටයුත්තේදී ප්‍රජා පොලිස් කමිටුවලට ද විශේෂ වගකීමක් පැවරී තිබෙනවා.

ඒ වගේම මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය වගේම විශේෂයෙන්ම මාධ්‍යයේ සහාය ද අවශ්‍යයි. එදා යුද සමයේ ඔබ සියලු දෙනා එක්ව ආරක්ෂක අංශවලට සහයෝගය ලබා දුන්නා. තිස් අවුරුදු යුද්ධය තිබුණේ උතුර නැගෙනහිර පමණයි. නමුත් මේ යුද්ධය රට පුරාම ව්‍යාප්තව තිබෙනවා. මහජනතාවගේ සහාය හිමිවීම පොලිසියට විශාල ශක්තියක්. ඒ නිසා මෙම මෙහෙයුමට අවශ්‍ය සහාය සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් ලබන වසරේ ජුනි මස වන විට මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් තුරන් කිරීමට හැකිවෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

ඒ වගේම මෙරටට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පළමුව මේ මෙහෙයුම යටතේ බෙදාහැරීම් ජාලය නතර කළ යුතුව තිබෙනවා. දෙවනුවට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල ක්‍රියාකාරකම් නතර කළ යුතුයි. තෙවනුව මත්ද්‍රව්‍ය භාවිත කරන අය සම්බන්ධවත් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. මත්ලෝලීන් වෙනුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙස මම පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා.

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට සම්බන්ධ 4665ක පිරිසක් සිටින බවට අපට බුද්ධි වාර්තා ලැබී තිබෙනවා. මේ සියලු දෙනාවම අත්අඩංගුවට ගන්නා ලෙසට මා උපදෙස් දී තිබෙනවා. පසුගිය දින 4 තුළ පමණක් එම බුද්ධි වාර්තාවේ සිටින 731ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment