මියන්මාරයේදී ප්‍රාණ ඇපයට ගත් ලාංකිකයන් 56 බේරා ගන්න ත්‍රස්තයන් සමග සාකච්ඡා

588

ත්‍රස්තයෝ එක් අයකු වෙනුවෙන් ඩොලර් 8000 බැගින් ඉල්ලති

මියන්මාරයේ පරිගණක අපරාධ කඳවුරක ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා මුදා ගැනීම සඳහා ඔවුන් රඳවාගෙන සිටින ත්‍රස්තවාදී කණ්ඩායම සමග මියන්මාර රජයේ මැදිහත්වීමෙන් සාකච්ඡා අරඹා ඇතැයි මියන්මාරයේ සිටින ශ්‍රී ලාංකීය තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.

දැනටමත් එම කඳවුරේ රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු මියන්මාර රජයේ මැදිහත් වීමෙන් පැවැති සාකච්ජාවලින් අනතුරුව නිදහස් කරගෙන ඇති බව ද ඔහු සඳහන් කර තිබේ. මියන්මාර ස්වදේශ කටයුතු ඇමැතිවරයා සමග අදාළ ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදා ගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වා ඇති බණ්ඩාර මහතා මියන්මාර ස්වදේශ කටයුතු ඇමැතිවරයා මියන්මාර – තායිලන්ත දේශසීමාවේ පිහිටි පරිගණක අපරාධ කඳවුරක රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 56 දෙනා මුදා ගැනීම සඳහා ඔවුන් රඳවාගෙන සිටින ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ජා කිරීමට මියන්මාර රජය දැඩි උනන්දුවෙන් කටයුතු කරන බව සඳහන් කර ඇත.

මියන්මාරයේ සිටින ශ්‍රී ලාංකීය තානාපතිවරයා ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් පිරිස මුදා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල මියන්මාර හමුදා ජුන්ටා රජයේ පාර්ශ්වයන් ගණනාවක් සමග සාකච්ජා පවත්වා ඇති බව වාර්තා වේ. මියන්මාර නගරයක් වන ‘මයාවෙඩ්ඩි’ සිට කිලෝ මීටර් 25ක් පමණ දුරින් තිබෙන දුෂ්කර මාර්ගයක පිහිටි කැලයක ඉදි කර තිබෙන ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පාලනය කරනු ලබන පරිගණක අපරාධ කඳවුරේ ශ්‍රී ලාංකීය තරුණ පිරිසට අමතරව ඉන්දියාව, නේපාලය ඇතුළු ආසියාතික රටවලින් පැහැරගත් පිරිසක් ද රඳවාගෙන සිටින බව අනාවරණය වී තිබේ.

ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටින අදාළ ශ්‍රී ලාංකීය තරුණ පිරිස ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී ඇත්තේ රැකියා සොයාගෙන තායිලන්තයට ගොස් සිටියදීය. මෙම පිරිස තායිලන්තයට ගෙන්වාගෙන ඇත්තේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා ලබා දීම සඳහා යැයි පවසමින් බව අනාවරණය වී තිබේ. රැකියා සඳහා ගිය මෙම පිරිස මියන්මාර -තායිලන්ත දේශසීමාවේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායමට හසු වීමෙන් පසු ඔවුන් දැඩි ලෙස අමානුෂීය ප්‍රහාරයකට මුහුණ පා ඇති බව මියන්මාර ආරංචි සඳහන් කර තිබේ. මෙම ශ්‍රී ලාංකීය තරුණ පිරිස නිදහස් කිරීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම විසින් එක් අයකු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 8000ක මුදලක් ඉල්ලා ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment